සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම චෛත්‍යය වශයෙන් සැලකෙන රුවන්වැලි මහාසෑය පිළිබඳව මහාවංසයේ සඳහන්ව ඇත්තේ “මහාථූප” යනුවෙනි. මහාථූපය තැනවීමේ ප්‍රවෘත්තිය මහාවංසයේද, ථූපවංසයේද සවිස්තරාත්මකව දක්වා තිබේ. ස්තූපය තැනවීම ආරම්භ කර මේ අවස්ථාව අනුරාධපුරයේ සිදු වූ ඉතාමත්ම අලංකාර උත්සවයක් ලෙස පැවැත් වූ ආකාරය පූර්වෝක්ත වංස කතාවන්හි විස්තර වේ.

ගිරි හඩු සෑය, ජේතවනාරාමය ....


ලොව ප්‍රථම චෛ්තිය. ගිරි හඩු සෑය.

සාමාන්‍යයෙන් චෛත්‍ය ඉදිකෙරුණේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමිනි. එහෙත් ලෝකයේ ප‍්‍රථම චෛත්‍යය ඉදිකෙරුණේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවදියේමය.ඒ චෛත්‍යය කර්මාන්තයට හේතු පාදක වූ කතාවද මනරම්ය. එහෙත් ඒ කතාව කියන්නට නම් අපේ අසල්වැසි භාරතයට යා යුතුය.

සින්දු නදියේ අතු ගංගාවක් වන සුවාසතු මිට්ගාමතේ පුෂ්කර නම් ගම්මානයකි. එගම විසූ තපස්සු සහ භල්ලූක නම් වෙළෙඳ දෙබෑයෝ ගැල් පන්සීයක බඩු පටවාගෙන මධ්‍ය දේශය බලා යමින් උන්හ. ඒ අතර මැද කිරිපලූ වනයේ වැඩසිටි බුදුරදුන් දැක වෙළඳ දෙබෑයන් කරන ලද්දේ විලඳ සහ මී පැණි පිළිගැන්වීමය. ඒ වන විට බුදුහු බුද්ධත්වයට පත්වී ගෙවී තිබුණේ දින පනහක් පමණකි. එබැවින්ම තපස්සු භල්ලූක දෙදෙනාට ලෝක ඉතිහාසයේ පළමු බෞද්ධ උපාසකයන් බවට පත්වීමටද වාසනාව ලැබිණි.

අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්න යැයි මේ වෙළෙඳ දෙබෑයෝ බුදු රදුන්ගෙන් ඉල්ලීමක් කළහ.

හිස අතගා බුදුහු කෙස් රොදක් රැගෙන තපස්සු භල්ලූකට දුන්හ.මහා සම්පතක් ලද පරිද්දෙන් සතුටට පත්වූ වෙළෙඳ දෙබෑයෝ ඒ කෙස් රොද රන් මංජුසාවක තැන්පත් කරගත්හ.

වෙළෙඳුන් ලංකාවට ආවේ ගල්වරාය ඔස්සේය. ගල්වරායෙන් යාංඔයට පිවිසි මොවුහු යාං ඔය ඉවුරේ වූ විසල් කඳු වැටියක් දැක එහි නැගුණහ. එහි මුදුනෙහි වූ තැන්නෙහි අර රන් මංජුසාව තබා දර දිය පිණිස වනයට වැදුණු අතර, නික්ම යනු පිණිස රන් මංජුසාව ගන්නට හදද්දී, එය සෙලවිය නොහැකි බව දැක විශ්මයට පත්වූහ. ඉනික්බිති ගල්ගොඩකින් මේ මංජුසාව වසා දැමූ බවත් ලොව ප‍්‍රථම චෛත්‍යය එතැන ඉදිවූ බවත් කියැවේ......

එහෙත් පොත පතෙහි සඳහන් වන ආකාරයට ලොව තවත් රටවල් ගණනාවක කේශධාතු නිදන් කර තැනූ චෛත්‍යය තිබේ. බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ආදී රටවලය. එසේ වීමට හේතුව පෙරකී ජනප‍්‍රවාදය ඉක්මවන්නකි. තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයෝ බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ලංකාව වැනි රටවලට වෙළහෙළදාමේ ගිය බවත් ඒ ගිය සෑම රටකම කේශ ධාතු එක දෙක බැගින් තැන්පත් කර චෛත්‍ය තැනූ බවත් ඉතිහාසයේ කියැවේ. බුරුමයේ රැන්ගුන් සෑය එබන්දකි. පෙර කී ජනප‍්‍රවාදයට වඩා මේ මතය පිළිගත හැක්කකි.

කෙසේ හෝ වේවා අප දැන් සිටින්නේ එදා තපස්සු භල්ලූක ඉදිකළ ලොව ප‍්‍රථම චෛත්‍ය පිහිටි නිතුපත්පානේය.

වෙළෙඳ නායකයන් පැමිණ ගල්තලය යන අරුත් දෙන නෙතු පතන පාෂාණ යන පාලි වචන ඔස්සේ නිතුපත්පාණ වූ නමුත් දුර පෙනෙන කඳු මුදුන එදා හැඳින්වූණේ ගිරිහඬු කන්ද ලෙසිනි. ගිරිහඬුකන්දේ ඉදිකෙරුණ චෛත්‍යය ගිරිහඬු සෑය වූයේය......

එහෙත් ගැමි ව්‍යවහාරය වූයේ නිතුපත්පාණ කඳුවැටිය යන්නය. ඒනිසාමදෝ කි‍්‍ර.ව. 67 දී වසභ රජු විසින් කරවන ලද වැවද නිතුපත්පාණ වැව ලෙස නම් ලද්දේය. ඒ වැව තනන ලද්දේ නිතුපත්පාණ හෙවත් ගිරිහඬු කන්ද ඇසුරු කරගෙනය. එකල යාං ඔයේ වතුර නිතුපත්පාණ වැව කරා ගමන් කළ ඇළ මගක්ද මේ බිමේ තිබිණි. ඒ ඇළ මගින් එතෙරව ගිරිහඬු සෑය කරා යනු පිණිස හෙළ රජ වසභ ගල් පාලමක්ද තනවා තිබිණි. අද ඒ ඇළ මග දකින්නට නැත. එහෙත් ගල් පාලම නම් දැකිය හැකිය.

ඉතින් අපි ගිරිහඬු සෑය වැඳගනු පිණිස ගිරිහඬු කන්ද දෙසට ඇවිද යමින් සිටිමු. කඳු හිසට යොමුවුනු ශෛලමය පඩිපෙලකි. ඒ පඩිපෙල ඇරඹෙන්නේ නිවුන් පොකුණක් අතරිනි. ගල් පඩි පෙළකින් ආවරණය කරන ලද ඒ නිවුන් පොකුණේ ඇති කළුවට හුරු ජලය වැස්සෙන් එක් රැස්වූ වතුර විය හැකිය. රූස්ස ගස් කිහිපයකින් සෙවණ වුණු ඒ නිවුන් පොකුණු පිසගත් සුළඟ කඳු හිස දෙසට ඇදී යන්නේ තුරු හිස් අතරද වැදෙමිනි. මේ ශෛලමය පියගැටපෙළද රජ සමයේම ඉදිකෙරුණකි. අපි ඒ පියගැට පෙළේ පඩි එකින් එක ඉහළට නගිමු. අපිට පසුවී යන මිටියාවතෙන් නිවුන් පොකුණේ හැඩරුවත් එහි ඇති ගල්පඩිත් මනාවට පෙනෙයි.

ටික දුරක් ඇවිද යනවිට හමුවන්නේ සෙල්ලිපිය නම්වූ පුවරුවකි. අපි ඒ පුවරුව සමීපයෙන් පසෙක වූ ගල් තලාවට ඇවිද ගියෙමු. එක් ගල්තලයක් මතුපිට කොටුකරන ලද තැනකි. ඒ සෙල්ලිපියයි. අඩි විස්සක් පමණ දිගට ලියැවුණු මේ සෙල්ලිපිය ලියා ඇත්තේ අග‍්‍රබෝධි සිලාමේඝ නම් රජ සමයේදී බව කියති. එනම් තපස්සු භල්ලූක විසින් ගිරිහඬුසෑය ඉදිකර ලැබ වසර 1200ක් ගතවුණු ඉක්බිතිවය. එතෙක් කලක් ජනප‍්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල්ලිපියෙහි ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරයෙනි. පේලි එකොළහකින් යුත් මෙහි ශ්ලෝක එකොළහක් බවත් ඒ ශ්ලෝක ගිරිහඬු සෑය වන්දනා කරන ගීත එකොළහක් බවත් පුරාවිද්‍යාඥයෝ කියති. මෙම සෙල්ලිපිය හමුවනවිටත් එක ශ්ලෝකයක අකුරු කිහිපයක් වැනසී තිබිණි.

අපි යළිත් පියගැටපෙළේ තවත් අඩි පනහක් පමණ ඉහළට නැග්ගෙමු. ඇතින් ඇසෙන මොනරකුගේ හඬක් තවත් විවිධ විහඟ ගී හඬත් විසින් නිහඬ බව බිඳිනු ලබයි. ගිරිහඬු සෑයේ පාමුලටම පැමිණ සිටි අපට දැන් පිවිසෙන්නට ඇත්තේ වැලි මළුවටය. එහෙත් ඊට කලින් දකුණු අත පැත්තේ ඇති ගඩොල් චෛත්‍යයත් වම් අත පැත්තේ ඇති කුඩා බෝ පැළය දෙසත් බලා දෑත් එක්කර වැඳ සිටිය යුතුමය.

ලංකා පොකුණට යනුවෙන් දකුණටද පුවරුවකි. එහෙත් ඊට කලින් පියගැට පෙළේ ඉතිරි පඩි කිහිපයක් නැග වැලිමළුවට පිවිසුනෙමු.

නෙත් ඉදිරියෙන් ඇත්තේ වටදාගෙයයි. සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු මේ ශෛලමය වටදාගෙයි මධ්‍යයෙහි ගිරිහඬු සෑය විරාජමාන වෙයි.

අපි වැලිමළුව වටේ වටදාගෙය පැදකුණු කළෙමු. චෛත්‍යයක් වටකළ වටදාගෙවල් ලංකාවෙහි ඇත්තේ දෙක තුනක් පමණි. ඒ අතරින් මෙම තිරියාය වටදාගෙය ලෝක පූජිතය. සිලාමේඝ රජ සමයේ මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කෙරුණු ගිරිහඬු සෑය පුද බිමේ එවක ප‍්‍රධානියා වූයේ අමෝඝ වජ‍්‍ර තෙර නමයි.

වටදාගෙයි දොරටු හතරකි. ඒ සිව් දොරටුවෙන්ම ගිරිහඬු සෑය වෙත ප‍්‍රවිශ්ඨ විය හැකිය. දෝත් එක්කර හිසෙහි තබාගත් වනම අපි මේ උතුම් පින්බිමට පිවිසුනෙමු. චෛත්‍යයේ එක්තැනක හිඩැසකි. ඒ හිඩැසෙන් පෙනෙන්නේ මුලින්ම තැනූ කුඩා ප‍්‍රමාණයේ සෑයයි. ඉනික්බිතිව සිලාමේඝ රජු මේ චෛත්‍යය වඩාත් විශාල කර බඳවා එහි වටේට පියස්සක් සහිත වටදාගෙයක්ද තැනෙව්වේය.

වැලි මළුවෙහි පිළිම ගෙවල්ද දෙකකි. එකක ඔත් පිළිමයකි. අනෙක සමාධි පිළිමයකි. ඒ පිළිම දෙකම ශෛලමය පිළිම වීම නිසාවෙන් අද වන තෙක්ම සුරැකෙමින් පවතියි. එහෙත් හිටි පිළිමය බිම පතිත වී තිබිණි.

නික්ම යන්නට හිත නොදෙන බැවින් බොහෝ වේලාවක් සෑ මළුවට වී ඔබ මොබ ඇවිදිමින් සිටියෙමු.

නැගෙනහිර දොරටුවෙන් පිවිසුණු අපි නික්ම ගියේ උතුරු දොරටුවෙනි. නැගෙනහිර දොරටුව සේම උතුරු දොරටුවද පියගැට පෙළින් හැඩවුණු අලංකාර එකකි. මේ පිවිසුම් මග දෙපසම නටබුන් රැසකි. ඒ සියල්ල සිලාමේඝ යුගයෙහි මහායාන බෞද්ධ මධ්‍යස්ථානයට අයත් වූ ගොඩනැගිලි වල පාදම් වියයුතුය.

පසෙක ඇත්තේ ලංකා පොකුණයි. ලංකාවේ හැඩයට තනන ලද ඒ පොකුණ අද නෙළුම් විලකි.

මෙතැනට නිතුපත්පාණ වැව මොනවට පෙනෙයි. එහෙත් තුරු යායකින් වැසීගත් වනපෙත අතුරින් නිතුපත්පාණ වැවෙන් අපට පෙනෙන්නේ සුළු කොටසකි.

එහෙත් මේ සියල්ල දොලොස්වැනි සියවසෙහිදී වල් බිහිව ගියේය. හේතුව සොලී ආක‍්‍රමණය......... මෙහි ජනපදවාසීහු ගම්බිම් හැරපියා දකුණු ලකට පිය නැගුවෝය. සොලී ආක‍්‍රමණ හමුවේ කැඞී බිඳී ගිය ගිරිහඬු සෑ පුදබිම කැලය විසින් වසාගනු ලැබුයේය.

මෑත යුගයේ 1929 දී පමණ මේ ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල්ලිපිය යළි හමුවන විට නිතුපත්පාණ තිරියාය වී තිබිණි. තිරියායේ ගිරිහඬු සෑය ලෙස මෙය ලෝක ප‍්‍රකට වූයේ ඒ අනුවය.

ඉනික්බිති කෙමෙන් එළි පෙහෙළි වූ තිරියායේ ගිරිහඬු සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්ත්වයට පත්කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. ගිරිහඬු සෑයේ බාරකාර හිමිනම වූයේ ගන්දර ආනන්ද නාහිමියන්ය. එවක ගිරිහඬු සෑය පණමෙන් බලාගෙන සිටි උන්වහන්සේට 1985 ජූනි 19 වැනිදා කොටි සංවිධානයේ තර්ජන එල්ල විය. කොටි තිරියායට අරක් ගත්තෙන් අපේ ගන්දර හාමුදුරුවෝ තිරියාය හැර ගියහ. පුදබිමෙහි වූ සියළු ගොඩනැගිලි කොටින්ගේ බෝම්බවලට ගොදුරුව මිහිමත ඇද වැටිණි. ශිලාමය බුදු රුවකටද මේ මෘගයෝ වෙඩිතැබූහ. එහෙත් ගිරිහඬු සැය රැක බලාගන්නට අධිගෘහිත දෙවි දේවතාවනට හැකිවිය.

රැවන්මැලි සෑ මහ පුන්‍ය භූමිය.

අප මාතෘ භූමිය සම්බුද්ධ ධර්මයෙන් පාරිශුද්ධ වූ දහම් දීපය යැයි විරුදාවලිය ලැබීමෙන් පසුව ඒ බව වඩාත් තීව්‍ර ලෙස බොදු දන හදට කා වැද්දීමට සමත් වූයේ විහාරස්ථානය වර්ණවත් කළ ස්තූපය ය.

ලක්බිමේ මේ මහා ස්තූප මාලා ඔටුන්නෙහි සිළුමිණ සේ සුවිශේෂ වූ ද ප්‍රධාන වූද ස්තූපය බවට පත්ව ඇත්තේ රුවන්වැලි මහ චෛත්‍යය රාජයාණන් වහන්සේ ය. එය ලංකාවේ ප්‍රධානම චෛත්‍ය නොහොත් මහා ස්තූපය බවට පත්වී තිබීම පිළිබඳව වාදයක් විවාදයක් හෝ කුකුසක් නොමැත.

සෙනරත් පරණවිතාන ශූරීන් ගේ .ලංකාවේ ස්තූපය නම් ග්‍රන්ථයේ රුවන්වැලි මහා සෑය පිළිබඳව කෙරෙන සඳහනෙන් එහි සුවිශේෂත්වය පිළිබඳව හැඟීමක් ඇති කරගත හැක.

අනුරාධපුරයේ පිහිටි පසු කාලයට අයත් ස්තූප දෙකක් ප්‍රමාණයෙන් රුවන්වැලි චෛත්‍ය අභිබවා සිටී. එහෙත් රුවන්වැලි සෑය කළ තැනැත්තාගේ නාමය කෙරෙහි බැඳී පවත්නා අපූර්ව ගෞරවය සහ නොයෙකුත් හේතූන් නිසා මෙම ස්තූපයට ලංකාවේ ස්තූප අතර ප්‍රධාන ස්ථානය ගැනීමට හැකි වී ඇති බව සිංහල බෞද්ධයන්ගේ පිළි ගැනීමය..

රුවන්වැලි සෑය ඉදිකරන ලද්දේ අපගේ මහාවංශ කතාවේ මහත් වූ කීර්ති නාමයක් ලැබූ අදත් අභිමානයෙන් අනුස්මරණය කෙරෙන දුටුගැමුණු මහ රජතුමාය. :ක්‍රි. පූර්ව 161 - 137- මෙම මහා ස්තූපය ඇත්තේ ශූද්ධ වූ අනුරාධපුර භූමියේ මහමෙව්නාව නම් පිවිතුරු උද්‍යානයේ ය. මහසෑය කළ බිමෙහි වූ තෙළඹුගස නො කැපුවහොත් සෑය සෑදීමට නොහැකි වූ නිසා තෙළඹු ගස සිඳලීමට අවශ්‍ය විය. එයට අධිගෘහිත වූ ස්වර්ණමාලී නම් වෘක්ෂ දේවතාවිය කළ පරිත්‍යාගයට ගෞරවයක් වශයෙන් මෙම මහ ස්තූපයට ස්වර්ණමාලී මහ සෑය නොහොත් රුවන්වැලි මහ සෑය වශයෙන් නම් තැබූ බවට මතයක් පවතියි. රුවන්මළුව නම් බිමෙක ඉදිකළ බැවින් රුවන්වැලි සෑය ලෙස නම් තැබූ බව තවත් මතයකි.

මහාවංශය සඳහන් කරන පරිදි මෙම කල්පයේ බුද්ධත්වයට පත් සිව්මහා බුදුරදුන්ගේ පහසින් මේ බිම පූජනීයත්වයට පත්වී ඇත.

එදා මිහිඳුමහ රහතන් වහන්සේ දෙවන පෑතින් නිරිඳානන්ට අටමස්ථානය හඳුන්වා දීමේදී සත්වැනි ස්ථානය ලෙස මේ මහා සෑය අනාගතයේ දී පිහිටන තැන පෙන්වීය. මහ රහතන් වහන්සේ සපුමලින් මෙම පිවිතුරු බිම පුදන විට මහපොළොව කම්පා වූ බවත් පොළව කම්පා වූයේ ඇයිදැයි ඇසූ රජතුමාට මහරහතන් වහන්සේ පැවැසුවේ මහා රජිඳානන්ගේ මුනුපුරකු විසින් මෙම ස්ථානයේ මහ ස්තූපය ගොඩනගන බවය. එපවත ලියවා රුවන්වැලි සෑය පිහිටුවන ස්ථානයේ ගල්ටැඹක් එස වූ බවත් මහා වංශයේ සඳහන්ව තිබේ.

බුද්ධ වර්ෂ 382 දී රාජ්‍යත්වයට පත් දුටුගැමුණු රජතුමා එම ටැඹ දැක එතැන මහ සෑය කරවූ බව කියැවෙයි. මේ මහා ස්තූපය ඉදිකිරීමට අවශ්‍ය අඩිතාලම දැමීමට සත් රියනක් යටට පොළොව හාරා යෝධයින් ලවා ගෙන්වන ලද හුනුගල් කුළු ගස්වා එය ශක්තිමත් වීමට සමින් වැසූ පතුල් ඇති ඇතුන් ලවා පෑගවීය. රහත් සාමණේරයන් වහන්සේ විසින් ගෙනෙන ලද වෙඬරු මැටි :නවතීන නම් ඉතා සියුම් මැටි වර්ගයක්- ඒ මත අතුරා ඒ මත ගඩොළු ද අතුරන ලදී. ගඩොලු මතුයෙහි ශුද්ධ වූ කරගල් ද කරගල් මතුයෙහි කුරුවින්ද පාෂාණ ද ඒ මත යදෙල් ද ඇතිරවීය. :යකඩ දැල්- සාමණේරවරුන් හිමාලයෙන් ගෙනෙන ලද සුවඳ මරුම්බ :තවත් විශේෂ ගල් වර්ගයක් විය හැක- ඒ මත පළිඟු ගල් ද ඉන් පසුව ස්ථරයේ රස ජලයෙන් මිශ්‍ර‍්‍ර කළ ගිවුලු මැලියමින් :දිවුල් මැලියම්- අඟල් 8 ක් පමණ ලෝහ පටක්ද ඒ මත තල තෙලින් හනන ලද රන් සිරියෙලින් අඟල් 7 ක පමණ ඝන රිදී පටක්ද ඇතිරවීය. මෙය ගෙන හැරපෑවේ මහා වංශයේ සටහන අනුවය. එසේම චෛත්‍යය ගොඩනැගීමට අවශ්‍ය ගඩොළු සඳහා මැටි සකසා ඇත්තේ වනේ දමා කොටා කුල්ලෙන් හලා වල් ඇට ඉවත් කර මනා තත්ත්ව පාලනයකිනි.

මහා සෑයේ ආකෘතිය නිශ්චය කර ගැනීමද අපූර්වත්වයක් ගෙනෙන කතාවකි. නිර්මාණ ශිල්පියා රන් තලියක් ජලයෙන් පුරවා අතින් දිය ස්වල්පයක් ගෙන දිය මතු පිට ගැසීය. එවිට අර්ධ ගෝලාකාර හැඩැති පළිඟුවක් සේ දිය බුබුළු දිස්විය. එම හැඩයට ස්තූපය ගොඩනැගීමට රජතුමා කැමැති විය. ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ ප්‍රමුඛ කොට පැවැති බව දීප වංශය පවසයි. බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ මෙම දා ගැබෙහි වීම සුවිශේෂත්වයකි. මහා වංශයට අනුව ද්‍රෝණයක් ධාතූන් :මෙය දළ වශයෙන් ගිනිය හැක්කේ නැලි දහසක් - ලාස් හතරක්- මෙම ස්තූපයේ නිධන් කර ඇත.

ලෝක විනාශයකදී සම්බුද්ධ ධාතු සියල්ල රුවන්වැලි මහා සෑයට එක්වී පෙළහර පා පිරිනිවන් පානා බව අට්ඨ කතාවන්හි සඳහන් වේ.

දුටුගැමුණු රජතුමාට මෙම මහා ස්තූපයේ වැඩ අවසන් කිරීමට නොහැකි විය. එම චෛත්‍ය කර්මාන්තයේ අවසන් අදියරට නිම කළේ සද්ධාතිස්ස රජතුමාගේ කාලයේ ය. සෑය වටා ඇති ඇත්පවුර සාදන ලද්දේ සද්ධාතිස්ස රාජ්‍ය සමයේ ය. මෙහි දිග අඩි 475 කි. පළල අඩි 477 කි. පවුරේ උස අඩි 9 ක් පමණ වෙයි.

පසු කලෙක විවිධ රජවරුන් යටතේ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වූ අතර අවසන් වරට පරිහානියට පත්ව තිබුණ චෛත්‍ය ගොඩනංවන ලද්දේ පළමුවන පරාක්‍රමබාහු රජතුමාය. :ක්‍රි. ව. 1153 - 1186- පසු කලෙක රුවන්වැලි මහ සෑය ගරා වැටී ජරාවාසයට පත්විය.

1873 වසරෙහි නාරන්විට සුමනසාර නම් ස්වාමීන් වහන්සේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹුවේ අපමණ වූ දුෂ්කරතා මධ්‍යයේ සුමනසාර හිමියන්ගේ ආවාස ගෘහය වූයේ බරකරත්ත අඹරාවකි. මේ මහා සෑයට කොත පළඳවන ලද්දේ 1940 වසරේදී ය. 1912 වසරේ වලිසිංහ හරිශ්චන්ද්‍රයන් පලකළ ..සිතියම් සහිත පුරාවිද්‍යාව, ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට මේ මහා සෑයේ උස අඩි 155 කි. චෛත්‍යයේ වට අඩි 500 ක්ද සළපතළ මළුවේ දි. පළල අඩි 480 ක් ද වෙයි.

වසර 1873 වනවිට පස් ගොඩැල්ලක්ව පැවැතුණු මේ මහ ස්තූපය පියවි ඇසින් දුටු එසමයෙහි ලක්බිමේ ආණ්ඩුකාර ධූරය ඉසුලූ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි 1876 පෙබරවාරි 15 වනදින එංගලන්ත ආණ්ඩුවට ලියවිල්ලක් ඉදිරිපත් කරයි. ‘රුවන්වැලි දාගැබ වෙත මම පැමිණියෙමි... නාරන්විට සුමනසාර උන්නාන්සේ විසින් කරවා ඇති වැඩ ප්‍රමාණය දැක අතිශයින් පුදුම වීමි... මේ දැගැබ වනාහි පුරාතන සිංහලයන්ගේ උසස් ශිල්ප ශාස්ත්‍ර දැනීමේ උතුම් ප්‍රතිඵලයක් මෙන්ද ලක්දිව රාජ්‍යාභිෂේකය ලත් ඉතා බලසම්පන්න ශ්‍රේෂ්ඨ රජතුමා සිහිපත්වීමේ ලකුණක් මෙන්ද පවති’.

වික්‍රමාන්විත මහා නරපතියකුගේ උත්තුංග අසිරිමත් නිර්මාණයක් සේ ගැනෙන රුවන්වැලි මහා සෑ රදුන් මේ දහම් දීපයේ සිරස මත තැබූ මහාධාතු කරඬුව නො වන්නේ ද ?

ජය ශ්‍රී මහ බොධිය.

ශ්‍රී ලාංකික බෞද්ධ වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපගේ සංස්කෘතික නව ප්‍රබෝධයේ සුවිශේෂී ලකුණක් බවට ද පත්විය. එසේම එය සැදැහැති බෞද්ධ ජනතාවගේ ගෞරව බහුමානයට මෙන්ම වන්දනාමානයට පාත්‍ර වූ ද පූජනීය අටමස්ථානයන්ගෙන් ද එකකි.

දේවානම්පියතිස්ස මහරජතුමා මහමෙව්නා උයන මහා සංඝරත්නයට පූජා කළ දිනයේ මිහිඳු මහරහතන් වහන්සේ වෙත දෑ සමන් මල් පැසක් පූජා කළේ ය. උන්වහන්සේ ඒ දෑසමන් මල් අට මිට බැගින් ඉසින ලද ස්ථානයන් අට පූජනීය වූ අටමස්ථානය බවට පත් විය.

එම අටමස්ථානය නම් මේ කල්පයේ බුද්ධත්වයට පත් කකුසඳල කෝණාගමල කාශ්‍යප සහ ගෞතම යන සිව් මහා සම්බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සමවැදී සිටි පූජනීය වූද පාරිශුද්ධ වූ ද ස්ථානයන් ය. එහි එක් ස්ථානයක මේ කල්පය තුළ ලොව්තුරා බුද්ධත්වයට පත් කකුසඳ කෝණාගමල සහ කාශ්‍යප යන තුන් බුදුවරුන් පිට දුන් බෝධීන් වහන්සේලාගේ දක්‍ෂිණ ශාඛාවෝ රෝපණය කළ පිවිතුරු බිම පිහිටියේ ය. එම පාරිශුද්ධ වූ බිම් කඩෙහිම ගෞතම බුදුරජාණන් වහන්සේ පිටදුන් ශ්‍රී මහා බෝධී දක්‍ෂිණ ශාඛාව රෝපිත බව වංශ කතාවල සඳහන්ව තිබේ.

එය අද දක්වා විරාජමානව වැඩ වසන්නේ අනුරාධපුරයේල මිහිඳු මහරහතන් වහන්සේ වෙත පූජා කළ මහා විහාර භූමියේ මහමෙව්නාව නම් රමණීය වූ උද්‍යානය තුළය. විෂම වූද අතිශය සංකීර්ණ වූද අනන්තාපරිමාන සංසාර චක්‍රයේ යථා ස්වරූපය මනාසේ දැක පරම සත්‍යාවබෝධයල මාර්ග ඥානය අවබෝධ කර ගැනීම ‘බුද්ධ’ යන වචනයේ අර්ථයයි. අප මහා සම්බුදුරජාණන් වහන්සේ එම ලොව්තුරා අග්‍ර ඵලය වූ සම්බුද්ධත්වයට සපැමිණීම උදෙසා වැඩහිඳිමින් සෙවනල සිසිලස සලසා ගත්තේ ගයා ශීර්ෂයේ නේරංජනානම් සුන්දර නදිය තීර්තයේ පිහිටියා වූ ඇසතු නම් මහා වනස්පතිය සමීපයේ දී ය. ඒ සමඟම ඇසතු වෘක්ෂය බුද්ධියේ වෘක්‍ෂය බවට පරිවර්තනය විය. බුද්ධියේ වෘක්‍ෂය නොහොත් බෝ වෘක්‍ෂය එළෙස ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමින් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ තුඩ තුඩ රැඳුණු වන්දනීය වූද පූජනීය වූද මහා වෘක්‍ෂය බවට පත් විය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයට බුදුසසුන හඳුන්වා දීමෙන් පසුව දෙවනපෑතිස් රාජෝත්තමයාගේ ඉල්ලීම පරිදි බුද්ධ වර්ෂ 237 උඳුවප් පුර පොහෝ දින දඹදිව තාම්‍රලිප්තයෙන් නැව් නැඟී සංඝමිත්තා මහරහත් මෙහෙණීන් වහන්සේගේ සුරතින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව අප මාතෘභූමියේ දඹකොළ පටුන නැව්තොට වෙතට වඩමවාගෙන සපැමිණි බව වංශකතාවලින් සනාථ වෙයි. ශ්‍රී ලංකාව නම් ධර්මද්වීපයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙම පිවිතුරු බිමෙහි රෝපණය වී දැනට බුද්ධ වර්ෂ 2319 ක් වූ ආයු කාලයක් ගෙවමින් දැනටද විරාජමානව වැඩ හිඳියි.උප්පත්ති කතාවේ සිට සාක්‍ෂි සහිත පැටිකිරියක් සහිත ලෝකයේ ඉපැරණිම වෘක්ෂය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වීම සමස්ත ලෝක ඉතිහාසයටම සුවිශේෂී වූ කාරණයකි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ පිවිතුරු භූමියේ වඩා හිඳුවාලු මොහොතේ සවනක් රැස් විහිදුවමින් පෙළහර පාමින් මුළු මිහිතලයම ප්‍රකම්පිත වූ බවත් මහා වංශයේ මෙන්ම වංශ කතාවන්හි සඳහන්ව තිබේ. කම්පාවීම යනු මේ මහී මණ්ඩලය ඒ උත්තරීතර වස්තුව සාතිශය සතුටින් පිළිගත් බව ලෝ ධාතුවට හැඟවීමට කළ සංඥාවය. එම ඓශ්චර්යවත් දර්ශනය දුටු දේවානම්පියතිස්ස නිරිඳාණෝ එයට උපහාර පිණිස දොහොත් මුදුන් දී වැඳ මේ ලංකා රාජ්‍යය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නාමයට පූජා කළ සේක.

ජේතවනාරාමය   

ලෝකයේ පවතින විශාලත්වයෙන් අගතැන්පත් බෞද්ධ ස්තූපය වූ ජේතවන චෛත්‍ය දෙවැනි වන්නේ ලෝකයේ පුදුම හතෙන් එකක් සේ ගැනෙන මිසරයේ පිරමීඩයන්ට පමණි.

මහසෙන් රජතුමා :ක්‍රි.ව. 276 - 303 - කරවූ ස්තූපය අඩි 400 ක් පමණ උස් වූ බව කියැවෙයි. එහෙත් 1832 වසරේ මේජර් ස්කිනර් විසින් ඇඳින ලද සැලැස්මට අනුව සෑයේ උස අඩි 244 කි. වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘ පොතේ සඳහන්ව ඇත්තේ දා ගැබේ උස අඩි 249 ක් බවත් වට අඩි ප්‍රමාණය අඩි 1200 ක් බවත් ය. මෙ ම සුවිසල් ස්තූපය අක්කර 8 ක පමණ භූමි ප්‍රමාණයක් වසා පැතිරී පවති යි.

සෑයේ නිධන් කර ඇති දේ පිළිබඳව මහාවංශයේ සඳහන් නොකළ ද පූජාවලියට අනුව මෙහි නිධන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ පටී ධාතුවයි. අනුරාධපුරයේ ඇති මහා ස්තූපයන් තුනෙන්ල එකක් වන ජේතවන චෛත්‍ය ඇත්තේ අනුරාධපුරයේ ජෝතිවනය නම් භූමියේ ය. එමනිසා මෙය ජේතවනාරාමය ලෙස ප්‍රචලිත විය. එහෙත් ශිලා ලේඛනයන්හි හා පැරැණි පොත පතෙහි සඳහන් ව ඇත්තේ දෙනාවෙහෙර - දෙනායකය ආදී නම් වලිනි.

මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් බිහි වූ මහා විහාර සම්ප්‍රදායට එරෙහි වූ මහසෙන් රජතුමා ලෝවාමහාපාය සහ තවත් පූජනීය වස්තූන් විනාශ කිරීමට තරම් කුරිරු වූයේ මහායාන සම්ප්‍රදායට නතු වූ සංඝමිත්‍ර නම් පාපමිත්‍ර භික්‍ෂූන් වහන්සේගේ බහට මුලා වී එම භික්‍ෂුවගේ උපදෙස් අනුව ය. මෙම සැහැසි ක්‍රියා හමුවේ මුළු රටම කැළඹුණි. රජතුමාගේ කුළුපග මිතුරකු වූ මේඝවර්ණ නම් අමාත්‍යවරයා මලය රටට පලාගොස් සේනා සංවිධානය කර යුද වදින්නට පෙරලා පැමිණියේ රජතුමා කළ මෙම නොපනත්කම් ඉවසීමට නොහැකි වූ නිසාවෙනි.

එහෙත් ගිනිගන්නට ගිය දේශයේ වාසනාවකට යුද්ධය නැවතුණි. මහසෙන් රජු ඔහු අතින් වූ වරද පිළිගෙන නැවත මහා විහාරය ගොඩනැඟීමට එකඟ වූ නිසා දෙදෙනා අතර සමාදානය ඇති විය. ඉන් පසුව මහා විහාරය ගොඩනැඟුණද රජතුමා හා මහා විහාරය අතර ප්‍රබල සම්බන්ධතාවයන් ඇති වූයේ නැත. මහා විහාර භූමිය තුළ තවත් ස්තූපයක් ඉදිකිරීමට මහසෙන් රජතුමාට අවශ්‍ය විය. එය නිශ්ඵල ප්‍රයත්නයක් බව මහාවිහාරික භික්‍ෂූන් පෙන්වා දුන්න ද රජතුමා එයට එකඟ නොවී ය. එසේ හිතුවක්කාර ප්‍රයත්නයක ප්‍රතිඵලය ලෙස ලෝකයේ සුවිසල් වූ ජේතවනාරාම මහා ස්තූපය ඉදිවිය. මේ මහා දාගැබ සාදවා ජේතවනාරාම විහාරයේ අයිතිය පවරා දුන්නේ මහා විහාර සම්ප්‍රදායට එරෙහිව කටයුතු කළ තිස්ස නම් භික්‍ෂූන් වහන්සේ වෙත ය.

ථේරිය හෙවත් මහා විහාරයට එරෙහිව ධම්මරුචි නමින් අභයගිරි නිකාය බිහිව තිබූ අතර - ජේතවන විහාරය ආශ්‍රයෙන් සාගලික හෙවත් ජේතවන නිකාය ඇති වූයේ ඉහත සිදුවීම් පෙළත් සමඟ ය. මහා වංශය ඇතුලු ඉතිහාස ග්‍රන්ථයන් බහුතරයක් මහසෙන් රජතුමා පිළිබඳව ඇඳ තබන්නේ මෙසේ දුර් වර්ණ වූ චිත්‍රයකි.

එහෙත් සී.ඩබ්ලිව්. නිකොලස් සහ ඇස්. පරණවිතානයන්ගේ ර්‍ණසංෂිප්ත ලංකා ඉතිහාසය” නම් ග්‍රන්ථයට අනුව වසර 27 ක මහසෙන් රාජ්‍ය සමය තුළ වාස්තු විද්‍යාල වාරිමාර්ගල ඉංජිනේරු විද්‍යා අතින් රටේ විශාල දියුණුවක් ඇති වූ බව සඳහන් කරයි. රජතුමා කරවූ ජලාශ ගණන 16 කි. ඒ අතර මින්නේරිය ජලාශය විශිෂ්ට නිර්මාණයකි. එසේම ග්‍රන්ථය පවසන්නේ මහාවිහාරයට පක්‍ෂපාතී වූ ඓතිහාසික පොත පත මඟින් මහසෙන් රජු හෙලා දකින ලද නමුත් එතුමා කළ පොදු ජන සේවාව නිසා ජනතාව මරණින් මතු එතුමා දේවත්වයෙන් පිදූ බව ය. අද ද ‘මින්නේරි දෙවියෝ’ නමින් ප්‍රචලිතව ඇත්තේ මහසෙන් රජතුමා ය. 1215 රජරට මාඝගේ පාලනයට අයත් වීමත් සමඟ ජේතවන විහාරයේ පරිහානිය උදා විය. වනවැදුනු නටබුන් ස්තූපය 1829 දී කළඑළි කරන ලදී. 1832 මේජර් ස්කිනර් විසින් අඳින ලද සැලැස්මට අනුව ස්තූපයේ උස සඳහන්ව ඇත්තේ අඩි 244 ක් වශයෙනි. 1890 දී මෙරට ප්‍රථම පුරාවිද්‍ය කොමසාරිස් එච්.සී.වී.බෙල් මහතා විසින් ජේතවන ස්තූපයේ පුරා විද්‍යා ගවේෂණ කටයුතු ඇරැඹීය.

මහා විද්‍යා තාක්‍ෂණ ඤාණයෙන් පරිපූර්ණ මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අප මාතෘභූමිය යටත් වීමෙන් පසුව එම දේශයේ සිට පැමිණ 1860 වසරේ දී ලංකාවේ මහ ලේකම් ධූරය ඉසුලූ ඇමර්සන් ටැනන්ට් විසින් ලියා ඵලකළ ‘සිලෝන්’ නැමැති ග්‍රන්ථයේ ජේතවන දාගැබ පිළිබඳව සටහන් කරන්නේ මෙසේ ය. මෙම විශාල ගොඩනැඟිල්ලට ගෙන තිබෙන ගඩොළු හා හුනු යන ද්‍රව්‍යයන් ප්‍රමාණය පුදුම ඵලවන සුළු ය. මෙහි විස්කම්භය අඩි 360 ක් ද උස අඩි 249 ක් ද වෙයි. මුළු බැම්මේ ප්‍රමාණය ඝන අඩි දෙකොටියකට අධිකය. වර්තමානයේ ගොඩනැඟිලි තැනීමට සාදාගෙන තිබෙන යන්ත්‍රවල ආධාර ද ඇතිව කර්මාන්තකාරයන් 500 දෙනෙකු ගඩොළු බැඳීමෙහි යෙදී වැඩ කළොත් ජේතවනාරාමය වැනි ගොඩැඟිල්ලක් තැනීමට වසර 7 ක් පමණ කාලයක් වැය වෙයි. එයට වියදම ඉතා අඩු වශයෙන් රත්‍රන් පවුම් දශ ලක්‍ෂයක් වුවමනා ය. දිගෙන් සැතැප්ම බාගයක් ඇති වීථි 30 ක් පිළියෙළ කර ගෙවල් අට දහසක් තැනීමට මේ දාගැබේ උපකරණ ප්‍රමාණවත් ය. එම උපකරණ වලින් එංගලන්තයේ 67ල 000 ක ජනගගනයක් වෙසෙන ‘ඉප්සවීම්’ නගරය හෝ 70ල000 ක ජනගහනයක් වෙසෙන ‘කොවැන්ට්රි’ තරම් විශාල නුවරක් ගොඩනැගිය හැක. තවද එම ද්‍රව්‍යයන්ගෙන් ඝනකම අඩියක් උස අඩි 10 ක් ඇති ප්‍රාකාරයක් ලොන්ඩන් නුවර සිට ‘ඇඩින් බරෝ’ නුවර දක්වා තැනිය හැකි ය’. :මෙම නගර දෙක අතර දුර සැතැපුම් 330 කි. කී.මී. 528 ක් පමණ ය.-

බ්‍රිතාන්‍යයන් පවා මවිත කළ මෙම විස්තරයෙන් ගම්‍ය වන්නේ ජේතවනාරාම චෛත්‍ය විශ්මිත නිර්මාණයක් බව ය.

එදා මුතුන් මිත්තන්ගේ ඉදිකිරීම් තාක්‍ෂණයේ දියුණුව අද්විතීය වේ. අපගේ ඓතිහාසික තාක්‍ෂණිය දියුණුවල සශ්‍රීකත්වයල උදාර සංස්කෘතියක මහා ගුණය මෙන්ම අතීතල අභීත ශ්‍රී විභූතිය පිළිබඳ පසුබිම් කථනයන් මෙවන් නිර්මාණ මතින් සන්නිවේදනය කරවන සුළුය.

ආගමික වියවුල් මධ්‍යයේ නිකාය භේදයකට ද මුල පිරූ මෙම ජේතවන මහා දාගැබ පිළිබඳ පුරා වෘත්තය ප්‍රසන්න නොවුන ද අටමස්ථාන වන්දනා මාන කරන සැදැහැති බෞද්ධයා වෙත රැගෙන එන්නේ කිසිවිට අශුභ අඳුරු චිත්‍රයක් නම් නොවේ. මේ මහා ජේතවන දාගැබ අභියසදී අපගේ දොහොත් මුදුනට එසවෙන්නේ සම්බුදුරජාණන් නමදින චෛත්‍ය වන්දනාවෙන් ජනිත වන සැදැහැති බව තවත් තිවෘ කරමිනි. මෙම ආශ්චර්යවත් යෝධ නිර්මාණය මේ රටට දායාද කළ අපගේ මුතුන්මිත්තන්ගේ විශ්මිත ඤාණල කාය ශක්තියට ගෞරවයද පුද කරමිනි. ඒ මුතුන් මිත්තන්ගේ ජාන ගුණයන් අංශු මාත්‍රයක් හෝ අපගේ ශරීරගත වී ඇතැයි හැඟෙන ආත්ම අභිමානය ද සමඟිනි.


අභයගිරිය පුනණභූමිය.

අභයගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටියේ අනුරාධපුර ශුද්ධ භූමියේය. ථූපාරාමයට හෝ ඇතුළු නුවරට උතුරින් පිහිටා ඇති හෙයින් මෙය උත්තර මහා චෛත්‍යය වශයෙන් ද හඳුන්වනු ලබයි.

ඉතිහාසය පිරික්සීමේදීල ප්‍රථම නිකාය භේදයට තුඩු දුන්ල සිද්ධි දාමය සමඟ අභයගිරි විහාරයේ නාමය ඈඳී තිබෙයි. එහෙත් එම විලෝමයල අභයගිරි විහාර සංකීර්ණයේ හෝ අද අප කතා කරන අභයගිරි මහා ස්තූපයේ ගරු ගාම්භීරත්වයට කිසිසේත් අවතක්සේරුවක් නොවනු ඇත.

ලාංකේය රාජ්‍ය වංශයේ තවත් එක් සුවිශේෂී නාමයක් රැන්දූ ‘වළගම්බා’ නොහොත් වට්ට ගාමිණී අභය රජතුමා ක්‍රි.පූ. 89 - 77 - මෙම ස්තූපය කරවා තිබේ. වට්ටගාමිණී අභය කුමරු සද්ධාතිස්ස රජතුමාගේ බාල පුත්‍රයා ය. වළගම්බා රජතුමා ප්‍රථම වරට අභිෂේක ලබන්නේ ක්‍රි.පූ. 103 වසරේදීය. එහෙත් සය මසක ඇවෑමෙන් සොලී ආක්‍රමණයන් සත් දෙනකුගේ බලය හමුවේ සිහසුන බිම තබා පැරද පලා යන්නට ඔහුට සිදුවෙයි. පැරද පලායන රජතුමා දැක එක් නිගන්ඨාරාමයක විසූ ගිරි නම් ජෛනාගමිකයා මහකළු සිංහලයා පලායන බව කෑගසමින් පවසා රජතුමා අවමානයට ලක් කරයි.

ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි සැඟවෙමින් රුහුණේ සිට සේනාවන් රැස්කර සංවිධානය වන වළගම්බා නැවත පෙරළා පැමිණ එවකට අනුරපුරයේ පාලකයාව සිටි අවසන් ද්‍රවිඩ ආක්‍රමණිකයා පරදා අප මාතෘභූමිය නැවත එක් සේසත් කරයි.

රාජාභිෂේකයෙන් පසුව පෙර සඳහන් කළ ජෛනාගමික මධ්‍යස්ථානය කඩා බිඳ දමමින්ල එතන මහා විහාර සංකීර්ණයක් ඉදි කරන රජතුමා මෙම විහාරයට තම නමද ඔහු අපහාසයට පත් කළ නිඝන්ඨයාගේ නමද එක්කරමින්ල අභයගිරි විහාරය ලෙස නම් කරන්නට ඇතැයිද මතයක් වේ. මෙම නම පිළිබඳ වෙනත් මතයක් ඉදිරිපත් කරන මහාචාර්ය ටී.ඩී. කුලතුංග පවසන්නේ පුරාණයේ උස් බිම් හා පර්වත ආශි‍්‍රතව ඉදිකළ විහාරගිරි යන්නෙන් අවසන්කර ඇති බවකි. :උදාහරණ වශයෙන් මේඝගිරි චේතියගිරි වෙස්සගිරි ආදිය වේ.- එසේ වට්ටගාමිණී අභය රජතුමා උස් වූ භූමියක සෑදූ විහාරය ‘අභයගිරි’ ලෙස නම් කරන්නට ඇති බව ඔහුගේ මතය වෙයි. මහා වංශයට අනුව අනුමාන කළ හැක්කේ මෙම අභයගිරි විහාරය ගොඩ නංවන ලද්දේ ක්‍රි.වර්ෂයට පෙර 29 වැනි වර්ෂයේ බව ය.

වසර 13 ක් අපමණ දුෂ්කර ක්‍රියා මැද දිවි ගෙවූ රජතුමාට මහත්සේ ඇප උපකාර කළ කුපික්කල මහාතිස්ස නම් තෙරුන් වහන්සේට මෙම අභයගිරි විහාරය රජතුමා විසින් පූජා කරනු ලබන්නේ කෘතගුණ සැලකීමේ මහා ගුණය පසක් කරවමිනි. මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ ‘ලක්දිව බුදුසමයේ ඉතිහාසය’ ග්‍රන්ථයේ සඳහන් වන පරිදිල මහා සංඝයා විෂයෙහි පොදුවේ පූජා නොකොට තනි භික්‍ෂුවකට පමණක් විහාරයක් පූජා කරන ප්‍රථම අවස්ථාව මෙය ය. කෙසේ හෝ මහා තිස්ස තෙරුන්ගේ කුල සංඝට්ඨව :ගිහි කුලය හා ගැලී- වෙසෙතැයි චෝදනාකොට මහා විහාර භික්‍ෂූන් විසින් තිස්ස තෙරුන්ව නෙරපා හරිනු ලබයි.

මෙම ක්‍රියාවට විරුද්ධත්වය ප්‍රකාශ කරන මහාතිස්ස තෙරුන්ගේ ශිෂ්‍ය බහලමස්සු නොහොත් මහදැළියල තිස්ස තෙරණුවෝ 500 ක් පමණ භික්‍ෂූන් වහන්සේ සමඟ අභයගිරි විහාරයට පැමිණෙති. මෙම ක්‍රියාදාමය මහා විහාරය හා අභයගිරි විහාරය වශයෙන් නිකාය දෙකක් ඇතිවීමේ සන්සිද්ධියට පාදක වන ප්‍රථම අනතුරු හැඟවීමේ රතු එළිය බව ලාංකීය නිකාය භේදය පිළිබඳ විමසීමේ දී හැඟී යයි.

එහෙත් පසු කාලීනව අභයගිරි විහාරය පැරැණි ඉන්දියාවේ පැවැති නාලන්දාල ජගද්දලාල වික්‍රමශීලා වැනි බෞද්ධ විශ්වවිද්‍යාල හා සමකළ හැකි තත්ත්වයක පැවැති බවත් මෙහි ශාඛා ආරාම විදේශ රටවල පවා ප්‍රචලිතව තිබූ බවත් කියැවේ. විශේෂයෙන් 5 වැනි සියවසෙහි ලංකාවට පැමිණි පාහියන් භික්‍ෂූන් වහන්සේ ද මෙහි අධ්‍යාපනය හදාරා ඇත. උන්වහන්සේ එන විට මෙම විහාරයේ 5000 ක් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටි බව උන්වහන්සේගේ සටහන් වලින් සනාථ වෙයි. අද වන විට අපට දකින්නට ලැබෙන්නේ මේ මහා බෞද්ධ අධ්‍යාපන නිකේතනයේ ශේෂයන් පමණි.

නටබුන්ව පැවතියද මහා දැවැන්ත නිර්මාණයක් වන අභයගිරි ස්තූපයල පැරැණි ශේෂ පත්‍රයක ස්වර්ණමය ලකුණක් අදට ද ඉතිරිකර තබා තිබේ. බෙහෝ වංශකතාවන්හි මෙහි නිදන් කර ඇති සුවිශේෂී නිදන් වස්තූන් පිළිබඳ සටහන් නොමැත. එහෙත් සද්ධර්මරත්නාකරයට අනුව මෙහි සර්වඥ ධාතු තැන්පත් කළ වෘෂභයකුගේ හැඩැති ධාතු කරඬුවක් නිදන් කර ඇති බව කියවෙයි. වළගම්බා රජතුමා කරවූ ස්තූපයට ගජබාහු රජතුමා :ක්‍රි.ව. 112 - 134 - විසින් විශාල කරන ලද අතර මෙය අවසන් වතාවට පිළිසකර කළේ මහ පැරකුම්බා රජතුමා ය. :ක්‍රි.ව. 1153 - 1180 -

පසුව වල්බිහි වූ චෛත්‍යයේ ගරා වැටී තිබූ කොත් කැරැල්ල කොන්ක්‍රීට් දමා තහවරු කරන ලද්දේ එච්.සී.පී. බෙල් විසින් මීට වසර 100 කට පමණ පෙරය. ලංකාවේ විශාලම ස්තූපය වූ ජේතවනාරාමයට පමණක් දෙවැනි වූ දැනට ශේෂව ඇති චෛත්‍යයේ උස මීටර් 75 ක් පමණය. :අඩි 250 ක්- ස්තූපය හා මළුවට යට වී ඇති භූමිභාගය අක්කර 14 ක් පමණ බවත් කියැවෙයි. අභයගිරි ස්තූපය වර්තමානයෙහි ප්‍රතිසංස්කරණය කැරේ. පාරාවෝ වැනි මහා දැවැන්තයින්ගේ අභිමානයට අභියෝග කළ අපේ මහා වික්‍රමාන්විත රජ දරුවන්ගේ ප්‍රතාපවත් බව ලොවට හඬ ගා කියන මේ මහා පෞරාණික ස්මාරක කුඩා දිවයිනක වූ දැවැන්ත ප්‍රතිරූපය ඔසවා තබන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයක උතුම් සලකුණු ද සමඟ වීම විශේෂයකි.

ථූපාරාමය.

අනුබුදු මිහිඳු මහරහත් සමිඳානන් බු.ව. 236 ඉල් මහ පුර පසළොස්වක පුන් පෝ දින දෙවනපෑතිස් රාජ මන්දිරයට සපැමිණ පැවසුවේල සම්බුද්ධ ධාතු වන්දනාවට පෙරලා ජම්බුද්දීපයට වැඩීමට අවකාශ අවශ්‍ය බව ය.

අප මහා සම්බුදුපියාණන් ජීවමාන නොවන කල සර්වඥ ධාතු වන්දනාවල ජීවමාන බුදුන් වහන්සේට වැදුම් පිදුම් කිරීම හා සම වන නිසා අනුබුදු හිමිට මෙම අවශ්‍යතාවය පැණ නැගුණි. නරේන්ද්‍රයාට මෙය මහත් ගැටලුවක් විය. එයට පිළියමක් ද අවශ්‍ය ය. ලාංකේය බිමෙහි මේ පිවිතුරු සම්බුදු දහම වඩා හිඳුවා පරිපූර්ණත්වයට පත් කරලීමට නම් සර්වඥ ධාතූන් වැඩම වීම අත්‍යවශ්‍ය ය. අනුබුදු සමිඳුන් මේ පින් බිමෙහි රඳවා ගැනීම ද ඒ තරමටම අවශ්‍ය ය.

අනුබුදු සමිඳුන්ගේ නියමයෙන් පූජනීය සර්වඥ ධාතු වැඩමවා ගැනීමේ පුණ්‍යමය දූත මෙහෙවරට ඉදිරිපත් වූයේ සුමන සාමනේරයාණන් වහන්සේ ය. ෂට් අභිඥා ලාභී පුංචි සුමන හිමියන් මෙම සද්කාර්යයට කදිම සුදුස්සා විය.

සක් දෙවි පුරයට සෘධියෙන් වඩින උන්වහන්සේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව සිළුමිණි සෑයෙන් රැගෙන දෙව් ලොවින් මිහින්තලා ශුද්ධ භූමියටත් එතැනින් අනුරපුර මහමෙව්නාවටත් සපැමිණියහ. ඉනික්බිති කරඬුවක බහාලූ ධාතූන් වහන්සේ හස්තිරාජයකුගේ කුම්භස්තලය මත තබා සපිරිවර මහා පෙරහරින් වඩමවාගෙන එන ලදී. මහමෙව්නා උයනට පැමිණෙන හස්තිරාජයා එක් පිවිතුරු බිම් කඩක් අසල නැවතුණේ ය.

එය මේ කල්පයේ පෙර සම්බුදු ධාතු නිධන් කර සෑදූ චෛත්‍යයන් සුපිහිටියා වූ පිවිතුරු බිම් කඩම ය. එතැන දී කුම්භයෙන් ගෙන කරඬුව බිම තැබීමට මෙම හස්තියා ඉඩ ලබා දුන්නේ නැත.

හේතු කාරණා දැන රාජ නියමයෙන් අසල පිහිටි අබා වැවෙන් මැටි පිඬු ගෙන්වා හස්ති කුම්භයේ උසට ගොඩැල්ලක් තැනවී ය. ඒ මතට මේ දක්‍ෂිණ අකු ධාතූන් වහන්සේ වඩමවනු ලැබුවේ ය. ඒ සමඟම හනි හනිකට අවශ්‍ය ගඩොලු සෑදීම සිදු කළහ. ගොඩැල්ල වටකර ගඩොල් බැන්දේ ධාන්‍යාකාරයටය. මෙසේ චෛත්‍ය ඉදිකිරීමට දවස් කිහිපයක් ගත වූහ. දැන් නිසි පරිදි ධාතු නිධානෝත්සවයට සියල්ල සූදානම් ය.

සතරදිගන්තයෙන් ඇදී එන ජන සමූහය මධ්‍යයේ කරඬුවෙන් අහස් කුසට නැඟි ධාතූන් වහන්සේ යමාමහ පෙළහර පෑවේ ය. ධාතූන් වහන්සේ මතින් විටෙක අග්නි ජාලාවක් ද එ සැනෙන් ජල දහරාවක් ද සැදී නැඟී ඇදී එමින් මේ ධරණීතලයම ගිනිජාලාවෙන් ඒකාලෝක විය. ජල ධාරාවෙන් සිසිලස පැතුරුණි. ඉන්පසු ධාතූන් වහන්සේ මහා නරේන්ද්‍රයාණන්ගේ හිසමතට වැඩම කළේ ය. රාජෝත්තමයාණෝ උතුරායන සතුටින් දෝතට රැගෙන බැතියෙන් මේ ධාතූන් වහන්සේ ස්තූප ගර්භය තුළ තැන්පත් කළහ. අප්‍රමාණ වූ සර්ධා සම්ප්‍රයුක්ත මේ මහා අසිරිය දැක පැහැද ජනී ජන සමූහයා මහත් වූ ප්‍රබෝධයට පත් වූහ. මේ මහා ආශ්චර්යයෙන් මිහි මඬල සලිත විය.

මේ අසිරිමත් ප්‍රවෘත්තිය සටහන් කරන්නේ මහා වංශයට සහ වෙනත් වංශ කතාවන්ට අනුකූලව ය.

සම්බුදු දහම සපැමිණීමෙන් පසුව අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිධන් කර දේවානම්පියතිස්ස නිරිදානන් සෑදූ ථූපාරාම චෛත්‍යය ලංකාවේ ප්‍රථම ස්තූපය වෙමින් ඉතිහාස වංශ කතාවේ ස්වර්ණමය යුගයක ආරම්භය සටහන් කර යි. එතැන් පටන් පැවැතෙන ස්තූප වන්දනාව සහ ධාතු වන්දනාව අද දක්වාම බැතිමත් බෞද්ධයාගේ ආත්මය හා අඛණ්ඩව සම වැදී පවති යි. ස්තූපයේ ආරම්භක පෙනුම ධාන්‍යාකාර හැඩතල ගත්තද 1862 වසරේ දී කළ ප්‍රතිසංස්කරණයෙන් පසු එහි පෙනුම ඝන්ඨාකාර හැඩ තලය දක්වා පරිවර්තනය වී ඇත. ලජ්ජිතිස්ස :ක්‍රි.පූ. 119 - 110- ගෝඨාභය :ක්‍රි. ව. 249 - 263- අග්බෝ :ක්‍රි.ව. 604 - 614- මානවම්ම :ක්‍රි.ව. 648 - 718 - යන රජවරු ථූපාරාම චෛත්‍ය විටෙන් විට ප්‍රතිසංස්කරණය කර තිබේ. දැනට ඇති වටදාගේ ගල් කණු මානවම්ම රාජ්‍ය කාලයේ ඉදි කළ බව කියැවෙ යි.එසේ ලංකාවේ පළමු වන වටදාගෙය ඉදි වන්නේ මෙහි ය.

ක්‍රි.ව. 840 පළමුවන සේන රාජ්‍ය කාලයේ ලංකාව ආක්‍රමණය කළ පාණ්ඩ්‍ය හමුදා ථූපාරාමය විනාශ කලෙන් 11 වන සේන රජු එය ප්‍රතිසංස්කරණය කළ බව කියැවෙයි. 1215 මාඝ ආක්‍රමණයෙන් ථූපාරාමය විනාශ විය. අද අප දකිනා ස්තූපය පිළිසකර කර ඇත්තේ 1862 වසරේදී ය.

ථූපාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ ලංකාවේ ස්තූප වංශ කතාවේ පළමුව ස්තූපය වෙමින් සදහම් දීපයේ අභිමානවත් වූ ද සදැහැති වූ ද සුපහන් දසුනින් අදත් අප මාතෘභූමිය ද වර්ණවත් කරව යි.

මිරිසවැටිය පුදබිම.

ලංකා රාජ්‍ය එක් සේසත් කළ දුටුගැමුණු රජතුමා රාජවංශ කතාවේ ඔටුණු පලන් රජ වරු අතර විශිෂ්ටයෙකි. පූජාවලිය පවසන්නේ මේ මහා නරපතිඳුන් ලෝක ශාසනයට මවක බවයි. මහා වංශයට සහ පූජාවලියට අනුව දුටු ගැමුණු රජතුමා :ක්‍රි.පූ. 161-137- තම වසර 24 ක රාජ්‍ය කාලය තුළ විහාර අනූනවයක් කළ බව කියැවෙයි.

එවන් වූ මහී පාලකයාණන් විසින් කළ ප්‍රථම ස්තූපය මිරිසවැටිය චෛත්‍ය නිසා මෙය සුවිශේෂී ස්මාරකයකි. අටමස්ථානයෙන් එකක් වූ මිරිසවැටි චෛත්‍ය අනුරාධපුර ශුද්ධ භූමියේ තිසා වැවටත් අභය වැවටත් අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේට නුදුරින් පිහිටා තිබේ.

සොලීන්ට යටත්ව තිබූ අප මාතෘ භූමිය එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ රාජභිෂේකයෙන් සත් දිනකට පසුව ඇරැඹුණු විහාර කර්මාන්තය නිමා කිරීමට වසර තුනක පමණ කාලයක් ගත වී තිබේ. එය සිදු වී ඇත්තේ බුද්ධ වර්ෂ 385 දී පමණ ය.

කුඩා කල තම දෙමාපියන්ට වූ පොරොන්දුවක් පරිදි සංඝයා වහන්සේට නොදී රජතුමා කිසිවක් අනුභව නොකළේ ය. එහෙත් පෙර දිනක අමතක වීමකින් භික්‍ෂූන්ට නොදී මිරිස් වැටියක් :මෙය මිරිස් ව්‍යාංජනයක් විය හැක- අනුභව කළ නිසා තම හෘද සාක්‍ෂිය විසින් ම පමුණුවා ගත් දඬුවමට වන්දි ගෙවීමට රජතුමා මිරිසවැටිය චෛත්‍ය කළ බව ඉතිහාස ග්‍රන්ථයන්ට අනුව සනාථ කර ගත හැක.

දුටුගැමුණු රාජාභිිකය සිදු වී සත් දිනක් ඇවෑමෙන් රජතුමා සර්වඥ ධාතූන් සහිත තම කුන්තායුධය නොහොත් ජයකුන්තය පෙරටු කර ගනිමින් මහ පෙරහරින් අනුරපුර තිසා වැවට සම්ප්‍රාප්ත වූයේ ජල ක්‍රීඩාව පිණිස ය. ඒ අසළ එම ජයකුන්තය සෘජුව තබන ලද බවත් ජලස්නානයෙන් පසුව පසු ගමන් ඇරැඹීමේදී ර්‍ණරාජ පුරු- ෂයිනි ජය කුන්තය වඩම්මවව්” යැයි අණ කළ කල්හි එය එසවීමට හෝ සෙලවීමටවත් රාජපුරුෂයන්ට නොහැකි වූ බවත් පැවැසෙයි. මෙය ආශ්චර්යයකි. රැස් වූ සේනාවන් නෙක නෙක වූ සුවඳ මලින් ජයකුන්තයට පූජෝපහාර දැක් වූ පසුව කුන්තායුධය එසේම තිබෙන්නට හැර එය වටා චෛත්‍යයක් ගොඩනැඟුවේ පෙර කළ වරදට ද වන්දි ගෙවීමක් වශයෙනි. එම වන්දිය නම්ල මිරිසවැටි මහා දා ගැබයි.

දඹදිව් පුරයෙන් ද අප මව්බිමෙන් ද වැඩම වූ ලක්‍ෂයක් භික්‍ෂූන් වහන්සේ සහ අනූ දහසක් භික්‍ෂුණීන් වහන්සේ ද පෙරටු කර අරහත් අජයෙන් බැබලුවා වූ පුණ්‍ය භූමියේ දී සත් දිනක් කළ මහා පුද සත්කාර මධ්‍යයේ මිරිසවැටිය නම් මහ දා ගැබ සඟ සතු කොට පූජා කළ බව වංශ කතාවල සඳහන් කර තිබේ.

මෙම දානමය පුණ්‍ය කර්මයට කළ පරිත්‍යාග සහ අනර්ඝ වස්තූන් හැර දහනව කෝටියක් කහවණු වැය කළ බව සඳහන් වෙයි. මෙහි මුල් ස්වරූපය අර්ධ කවාකාරය. එහි හතරැස් කොටුව හා ඡත්‍රය තිබුණ ද දේවතාකොටුව සහ කොත් කැරැල්ල චෛත්‍යයට එක් වී ඇත්තේ පසු කාලයකැදී ය.වොහාරතිස්ස :වර්ෂ 757 - මෙහි නවකම් කළ බවත් පළමුවෙනි ගජබාහු :කි.ව. 112 - 134 - සිට බොහෝ රජවරු චෛත්‍යයේ වර්ධනයට සහ පිළිසකර කිරීම් වලට තම අනුග්‍රහය දැක්වූ බවත් කියැවෙයි. පසු කලෙක සොලී ආක්‍රමණිකයන් කඩාබිඳ දැමූ චෛත්‍ය මහා පරාක්‍රමබාහු රජතුමා :ක්‍රි. ව. 1153-1186- රියන් 80 ක් :අඩි 120- උසට බැන්ද වූ බවත් පැවසෙ යි.

ඉතාම කලාත්මක කැටයම් වාහල්කඩ ආදියෙන් අලංකෘත වූ ස්තූපයේ මුල් ස්වරූපය පසුව එලැඹි නෙක විපත් සහ පිළිසකර කිරීම් ආදියේ දී විනාශ වී ඇති බවට සාධක හමු වී තිබේ. හෙන්රි පාකර්ගේ විස්තරයක සඳහන් වන්නේ ක්‍රි.ව.1873 වන විට මෙය වල් බිහි වී තිබූ බව ය.

1885 වසරේ දී එස්.එම්. බරෝස් යටතේ මිරිසවැටි චෛත්‍ය කැනීම් සිදු කෙරිණි.1888 වසරේ සියම් කමරකු පරිත්‍යාග කළ පවුම් 1000 ක මුදලින් ගොඩන් :1883 - 1890 - ආණ්ඩුකාරයාගේ කාලයේ ස්තූපය පිළිසකර කරන ලදී. ‘යුරෝපීය කර්මාන්තකාරයන්ගේ අදහස් පරිදි කළ ප්‍රතිසංස්කරණයන් සතුටුදායක ලෙස නිම කිරීමට නුපුළුවන් වීම බෞද්ධයන්ට මහත් පාඩුවක්’ වූ බව වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ ‘සිතියම් සහිත පුරාවිද්‍යාව’ පොතේ සඳහන්ව තිබේ.

මෑත වකවානුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්තූපය පිළිසකර කළ නමුත් 1987 වසරේ දී එය කැබැලි වලට කැඩී මහ හඬ නංවමින් පුපුරා ගියේ ය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම නැවත ප්‍රතිසංස්කරණ කරන ලද වර්තමාන ස්තූපයේ උස අඩි 192 කි. විශ්කම්භය අඩි 141 කි.

දුටුගැමුණු නරෝත්තමයාණන් කළ ප්‍රථම ස්තූපය මෙයයි. අටමස්ථානයේ තවත් එක් පූජනීය වස්තුවක් වන්නේ ද මෙයයි. මිරිස් වැටියකට වන්දි ගෙවමින් බලවත් මිනිසකු සතු නිහතමානී ගුණය මොනවට පසස් කරලීමට දායක වූයේ ද මෙයයි. ජය කුන්තයෙන් සංකේතවත් කළ විජයග්‍රහණයේ බලයල ශ්‍රද්ධාවේ මහා ගුණයට පරිවර්තනය කළ ස්මාරකය ද මෙයයි. වියවුල් කොතෙක් පැමිණියද අදත් නොසැලෙමින් මිරිසවැටි සෑ රදුන් පුරාවිද්‍යාත්මක වටිනාකම අභිබවමින් සදාතනික ගුණ කඳක වටිනාකම පිළිබඳ පණිවිඩය අද ද එලෙස සන්නිවේදනය කරවන සුළු ය.

සේල චෛ්තිය.මිහින්තලාව.

කුටකණ්ණතිස්ස රජතුමා :ක්‍රි.පූ. 41 - 91 - චේතියපබ්බතයෙහි තමා විසින්ම පිහිටුවන ලද මහා උපෝසථාගාරයක් ඉදිරිපිට සෙල්මුවා දාගැබක් කරවූ බව මහාවංශයේ :34 වැනි පරිච්ඡේදයෙහි- කියැවෙයි. ඔහු එම භූමියේ බෝධියක් රෝපණය කරවූ බවද සඳහන් කර තිබේ. මිහින්තලේ වට දා ගෙය අසල ඉතා පැරැණියයි සැළකෙන බෝ වෘක්‍ෂයක් අදත් දක්නට ඇත. මෙය කුටකණ්ණතිස්ස රජු රෝපණය කරවූ බෝධියම යැයි කිව නොහැකි බව සැබෑව. එහෙත් එක් බෝ ගසක් මළ කල එතැන තවකක් සිටුවීම සිරිතකි. කෙසේ වෙතත් කුටකණ්ණතිස්ස රජු විසින් සිය ශෛලමය ස්තුපය ඉදි කරනු ලැබූ භූමියේ දාගැබටත් බෝධියටත් අමතරව විශාල උපෝසථාඝරයක් ද පිහිටි හෙයින් එය එතරම් කුඩා බිමක් විය නොහැකිය. වටදාගෙය අද පිහිටා තිබෙනු දක්නට ඇති තලවුව මේ අවශ්‍යතාවය සපුරාලයි. මිහින්තලේ මෙම භූමියේ ඇති වටදාගේ ඇතුළත ඇති දා ගැබ ඓතිහාසික ලියකියවිලිවලත් තුන්වැනි සියවසෙහි ශිලා ලේඛනයේත් සඳහන් සිලාචේතියම විය යුතු යැයි පිළිගත යුතු වේ.

පූජාවලිය සහ සද්ධර්මාලංකාරය වැනි සිංහල සාහිත්‍යය ග්‍රන්ථවලින් පැහැදිලි වන මහා වංශ විස්තරය අනුව මෙම ස්තුපය ඉදිකර ඇත්තේ බුදු රජාණන් වහන්සේ ලංකාවට වැඩ වදාළ තුන් වැනි අවස්ථාවේ මඳ වේලාවක් ධ්‍යානයට සමවැදී හුන් ස්ථානයේ ය. මේ අනුව මෙය බෞද්ධයන් ඉතා පූජනීය ලෙස සලකන සොළොස්මස්ථානයෙන් එකකි.

එය සනාථ කිරීම සඳහා මහා වංශයේ සඳහන් කරුණුත් කැණීම් වලින් මතු කරගත් සාධකත් ඒ බව සනාථ කරන හබරණ දිග ගල් සන්නසෙහි සඳහන්ව ඇති සටහන්ද මහාචාර්ය පරණවිතානයන් විමර්ශනය සඳහා පාදක කර ගෙන තිබේ. ඒ අනුසාරයෙන් අපට සිතාගත හැක්කේ මිහින්තලයේ ඇති අම්බස්ථල දාගැබද සේල චෛත්‍යයද එකක්ම බවයි.

ඓතිහාසික කරුණු අනුව අම්බස්ථල චෛත්‍ය පිහිටි ස්ථානය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස නරේන්ද්‍රයාණන් සම්මුඛ වූ ස්ථානය වශයෙන්ද හඳුන්වති.

එසේ නම් මෙම ස්ථානය මහා ආශ්චර්යවත් බවක් රැඳී පවිත්‍ර වූ ද අති පූජනීය වූ ද බිම්කඩක්ම ය. සම්බුදු දහමින් තුන්ලෝකයම ආලෝකවත් කළ අප ගෞතම බුදුපියාණන් වහන්සේගේත් ඒ සද්ධර්මයෙන් අප මාතෘභූමිය ආලෝකවත් කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේත් පාදස්පර්ෂයෙන් පිවිතුරු වූ බිමෙක මේ සේල චෛත්‍යය ගොඩනැඟී තිබීම බෞද්ධයන් වූ අපට සුවිශේෂී වූ කාරණයකි.

චන්ද්‍රාලෝකයෙන් බැබළෙන ශෛලමය තලාව ඇත්තේ ද එතැනය. චන්ද්‍ර කාන්තී පාෂාණය කියන්නේ එයටයි. පුදුමයක් ද? සම්බුදු පහසින් ආලෝකවත් වුණු ශෛල කලාව දෙවන වරටත් අනුබුදු පහසින් ඔපවත්වන විට මේ අසහාය පා කමල් පිළිගත් රථ කළු ගල් පවා මුදු මෙලෙක් නොවන්නේ ආලෝවත් නො වන්නේ ද? එවන් සුපචිත්‍ර වූ තැනකදී දරදඬු සිතක් වුව මුදු මොළොක් වී නිවී පහන් වී සැනසෙනවා සහතිකමය.

තිස්සමහාරාම පුදබිම.

තිස්සමහාරාම චෛත්‍ය වන්දනා ගාථාවේ කියැවෙන්නේ සම්පූර්ණයෙන් සඳ මඬලක් වැනි වූ ලළාට ධාතූන් වහන්සේ නිධන්කොට කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද තිස්සමහාරාම චෛත්‍යයට මම නමස්කාර කරමි” යන්න ය.

බුදුරජාණන් වහන්සේ තුන් වැනි වරට ලංකාවට සපැමිණි අවස්ථාවේ දී සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයක් ලෙස මෙම තිස්සමහාරාමය හඳුන්වයි.

2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් සම්පාදනය කරන ලද ‘2500 ජයන්ති ඉතිහාසය’ නම් ග්‍රන්ථයට අනුව සටහන්ව ඇත්තේ ‘තිස්ස මහා විහාර කීපයක් ඇතත් මහා ස්ථානය වූයේ එයින් කුමක්දැයි හරි හැටි තේරුම් ගැනීම දුෂ්කර බව යි.’

මහාවංශාදී සැලකිය යුතු ග්‍රන්ථයක නැති මෙම ස්ථානය පිළිබඳව ධාතු වංශය සඳහන් කරයි. එහි දැක්වෙන්නේ කාවන්තිස්ස රජ විසින් සිය නම තබා මාගම එකක් ද සේරුවිල තවෙකක් ද වශයෙන් තිස්ස විහාර දෙකක් කළ බවයි. ඒ දෙතැනටම බුදුන් වහන්සේ වැඩි බව එහි දැක්වෙයි. ජයන්ති ඉතිහාසය තව දුරටත් සඳහන් කරන්නේ මෙසේ ය.

‘සේරුවිල මංගල චෛත්‍යයේ ලළාට ධාතු පිහිටීමේ පුවත ඇතුළත් තිස්සමහා වෙහෙර ධාතු පිළිවෙළ කතාව වශයෙන් හැඳින්වෙන ධාතු වංශය අනුවැ සැලැකිය හැක්කේ බුදුරදුන් සේරුවිලට වැඩි බව මැයැ.’

‘එහි එකල විසුවෝ නා. ග්‍රෝත්‍රිකයෝ යැ. ඔවුන්ගේ පාලකයා ‘සුමන’ නම් නා රජෙකි. සේරුවිල සමීපයේ පිහිටි නයින්ගේ විල්ගම් වෙහෙරේ ද ඵල රුහ බෝධීන් පිහිටි බව බෝධිවංශය කියයි. එයින් ද එහි නාගයින් විසූ බව තහවුරු වෙයි. බුදුන් පාරිබෝ. කළ ස්ථානයේ නයින් කළ චෛත්‍යය ලළාට ධාතු පිහිටුවා කාවන්තිස්ස රජු දියුණූ කළ බවත් තිස්ස මහා විහාර නම් මහා ස්ථානය එය බවත් මාගම වූයේ භික්‍ෂූන් විසූ තිස්සමහාරාමය බවත් සිතිය හැක.’

නමුත් අද අපි සම්ප්‍රදායිකව සොළොස්මස්ථානයේ තිස්සමහාරාමය වශයෙන් හඳුනා ගන්නේ රුහුණු පුරවරයේ තිස්සමහාරාමයය.

ක්‍රි.පූර්ව දෙවන ශත වර්ෂයේ දී රුහුණු මාගම්පුර පාලනය කළ කාවන්තිස්ස රජතුමා විසින් මෙම විහාරය ඉදිකරන ලදී. මහානාගල යටාලතිස්සල ගෝඨාභය යන රුහුණේ රජ කළ රජවරු විසින් බුදුන්ගේ ලලාට ධාතූන් වහන්සේ වැඩ හිඳුවා ගොඩ නංවන ලද ධාතු ඝරයට පුද සත්කාර කරන ලද බවත් පසු කලෙක එම ධාතුඝරය වට කොට කාවන්තිස්ස රජු තමාගේ නම යොදා එදා තිස්ස මහ විහාරය කර වූ බවත් කියැවෙයි. ජෙට්ටතිස්ස රජු විහාරයට ඉඩකඩම් කෙත්වතු පූජා කළේ ය. එසේම වසභ රජු ද ළමැනි මිහිඳු රජු ද තිස්සමහාරාමයේ නඩත්තුව සඳහා කෙත්වතු පූජා කර තිබෙයි.

අටවන සිය වසෙන් පසුව වල් බිහිවී ගිය මෙය 17 සහ 18 සියවස් හි දී අලුත් වැඩියා කර ඇත.

මහනුවර යුගයේ දී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තිස්ස විහාරයේ සංරක්‍ෂණය කළ බව ද කියැවෙයි.

වළගම්බා රාජ්‍ය සමයේ දී ඇති වූ බැමිණිටියාසායේ දී වසර සියයකට පමණ සෑහෙන ධාන්‍ය තොග මීයන් විසින් කා දමන ලද බවත් විභංග අටුවාවෙහි සඳහන් වෙයි. තිස්ස මහා විහාරයට අයත් ව තිබූ ‘සිලාපස්ස පිරිවෙණ භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් සැදි මහා පිරිවෙනක් බව සිතිය හැකි වේ. බැමිණිටියා මහා දුර්භික්‍ෂය වන විට මෙහි දොළොස් දහසක් මහරහතන් වහන්සේ වැඩි සිටි බව වංශ කතා අනුව කියැවෙයි.

තිස්සමහාරාම චෛත්‍ය රුහුණු පුරවරයෙහි මහා සෑය නොහොත් ‘රුවන්වැලි’ මහ සෑයට සමාන කරමින් හැඳින්වීමෙන් පෙනී යන්නේ මෙය ද අප මාතෘ භූමියේ ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් පූජනීයත්වයට පත්ව ඇති බවයි. තිස්ස මහා වැවත් නිල්ලෙන් පිරි කෙත්වතු මධ්‍යයේ කිරුළක් සේ දිදුලන තිස්ස මහා ස්තූපය. එම පරිසරයට චමත්කාරය එක් කරළමින් සොඳුරු දර්ශනයක් මවයි.

සොළොස්මස්ථානය පිළිබඳව කතා කිරීමේ දී ඇතැම් ස්ථානයන් පිළිබඳව නිශ්චිත නිගමනයට එළැඹිය නොහැක. ඉතිහාසඥයන්ල පුරා විද්‍යාඥයන් පුරා විද්‍යා සාධක මත ගැඹුරට ගවේෂණයන් කළහොත් බොහෝ ස්ථානයන් එම පරීක්‍ෂණ වලදී අසමත් වීමට ඉඩ ඇත. එහෙත් පාරම්පරිකව පැවැතඑන සම්ප්‍රදායන් සහ ජනශ්‍රැති මත චිරාත් කාලයක් තිස්සේ අපගේ වන්දනාමානයට බඳුන් වෙමින් මෙම ස්ථාන අද වන විට පූජනීයත්වයෙන් අනූන සුවිශේෂී පුද බිම් බවට පත් වී තිබේ.

මෙවන් මහා දැවැන්ත ස්තූපයන් ආවාට ගියාට ගොඩ නැඟෙන්නේ ද නැත. එවන් මහා සෑ රඳුන් අභියසදී බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩෙන සිත් සතන් මොහොතකට හෝ සැනසෙන බව නම් සත්‍යයකි. සේරු නුවරදී වුවත් තිස්සමහාරාමයේ දී වුවත් මෙවන් මහා ස්තූප රාජයන් අභියසදී අපගේ සිත් සතන් නිවී පහන් වී සමාධි ගත වේ නම් ඒ මහා පිවිතුරු ආලෝකය පැතිරෙන්නේ අවර ගිරෙන් දැයි පෑල දොරින් දැයි ගැටලුවක් ඇති කර ගත නොහේ. ඒවා අපගේ ළය මඬලේ පිවිතුරුල ධවල පැහැයෙන් ගොඩනැඟී ඇත්තේ කිසිදා අක්මුල් සිඳ ගලවා ඉවත් කළ නොහැකි අපගේ සංස්කෘතිය හා බැඳි බොදු උරුමයේ මහා ස්මාරකයන් ලෙසය. විලම්භීත දැක දුවන සිතල නිවන මේ මහා සැදැහැති බොදු උරුමයන් දිවි හිමියෙන් සුරැකිය යුතු වන්නේ ද ඒ නිසාම ය.

මුතියංගන පුදබිම.

සොළොස්මස්ථානයන් අතරින් සත් වැනි ස්ථානය ලෙස නම් කර ඇත්තේ මුතියංගනය මහා සෑ රදුන් ය. එහෙත් එය පිළිබඳ වැඩි විස්තර වංශ කතාවල ඵල නොවී තිබීම ප්‍රශ්නකාරී වෙයි.

මෙම ස්ථානය පිහිටා ඇත්තේ ඌව පළාතේ බදුලු දිස්ත්‍රික්කයේ බදුල්ල නගර මධ්‍යයේ ය. මහාවංශය මෙය පිළිබඳ කතා නොකර යි. බෝධි වංශයේ ද එය එසේමය. ධාතු වංශයේ දී ද මුතියංගනය පිළිබඳව නො කියැ වෙයි. එහෙත් මෙම ඉතිහාස ග්‍රන්ථයන්ට වඩා පැරැණි වූ සමන්තපාසාදිකා වෙහි සදහන් වන්නේ මෙසේය. සම්බුදුහු මෙදුවට ධරමාන කාලයෙ මැ තෙවරක් වැඩියහ. තෙවන වර පන්සියයක් මහණ පිරිවර ඇති වැ අවුත් මහා චෛත්‍යස්ථානයේ ද ථූපාරාම චෛත්‍ය ස්ථානයේ ද මහා බෝධි ප්‍රතිෂ්ඨිතස්ථානයේ ද මුතියංගන චෛත්‍යස්ථානයේ ද දීඝාවාපි චෛත්‍යස්ථානයේ ද කල්‍යාණී චෛත්‍යස්ථානයේ ද නිරෝධ සමාපත්තියට සමවැදී හුන් සේක”.

මේ අනුව මුතියංගන සෑ රදුන් පිහිටි ස්ථානයේ ද සම්බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි ස්ථානයක් ලෙස හඳුනා ගත හැකි වෙයි. සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේ දී මෙම ස්ථානයට වඩින විට මෙම ප්‍රදේශය ජනාවාසයක්ව පැවැති බව කියැ වෙයි. පෙර යක්‍ෂ ගෝත්‍රය විසූ බිම්තැනි ප්‍රදේශයටම අයත්ව තිබූ මුතියංගනය සම්බුදු දහමේ පහසින් ආලෝකය ලද පූජනීය වූ පුද බිමකි.

එසේම ලාංකේය බෞද්ධ ඉතිහාස කතාව පිරික්සීමේදී මව්බිමේ සද්ධාවන්ත බෞද්ධයින්ට විශේෂිත වූ පුදබිම් නිර්ණය කිරීමේ දී විහාරස්ථානයක වටිනාකම් තක්සේරු කිරීමටල එහි ඇති චෛත්‍යයල බෝධීන් වහන්සේල විහාර මන්දිර ආදී අංගයන්ගේ ඉපැරණි බව ඒවායේ විශේෂතාල ආදිය ද සැළකිල්ලට භාජනය වෙයි. විහාරස්ථානයකල පුද බිමකල අෂ්ටඵල දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලා රෝපණය වී ඇතිනම් එම පුදබිමෙහි පූජනීයත්වය තව තවත් වර්ධනය වේ. ඓතිහාසික වටිනාකම ද වැඩිවේ.

මෙම මුතියංගන පුද බිමෙහි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේල දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇති බව කියැ වෙයි. ලංකාව පුරා ඇති විහාරස්ථාන අති බහුතරයක් අතර එවන් වූ ස්ථානයන් ඇත්තේ තිස් දෙකක් පමණක් වීම එහි ඇති විශේෂයයි.

බෞද්ධාගමල බෞද්ධ ආකල්පල මෙම දිවයිනේ සතර දිග් භාගය පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි මෙසේ දෙතිස්ඵල රුහ බෝධීන් රෝපණය කර ඇත. ඉන් අපේක්‍ෂා කළේ බුද්ධාගම දීප ව්‍යාප්ත කිරීම ය. ඒ සඳහා සුවිශේෂී වූ පිවිතුරු බිම් තෝරාගෙන එයට රාජ්‍ය අනුග්‍රහය දැක්වීය.

මේ අනුව ක්‍රි.පූර්ව තුන්වන සියවසේ දී මෙහි සර්වඥ ධාතූන් නිධන්කර දේවානම්පියතිස්ස රජතුමා විසින් මුතියංගන මහා සෑය කළ බව ථූපවංශය ආදී වංශ කතා වලට අනුව සනාථ කරගත හැකි වෙයි. පසුව ජෙට්ඨතිස්ස රජතුමා එම ස්තූපය තවත් විශාල කර බන්ධවා ඇත. පසු කලෙක සතුරු ආක්‍රමණයන්ගෙන් විනාශ වීම් වලට විහාරස්ථානය බඳුන් වී තිබේ. එය දෙවන රාජසිංහ වැනි රජවරුන්ගේ අනුග්‍රහයෙන් අලුත්වැඩියා කළ බවද සඳහන් වෙයි.

ජනප්‍රවාදයට අනුව මුතියංගන පුදබිම එ දවස රහතන් වහන්සේ වැඩ සිටි ස්ථානයක් බව විශ්වාස කෙරෙයි. බෞද්ධ ඉතිහාස කතාව හා දක්වන සම්බන්ධතාවය නිසා මුතියංගනය රජමහා විහාරය ලංකාවේ සිද්ධස්ථාන අතර ප්‍රධාන සිද්ධස්ථානයකි. ඌව පළාතේ විහාරස්ථානයන් අතර මෙය දෙවැනි වන්නේ මහියංගනයට පමණි. ගිරි මේඛලාවකින් වටවූ සොභාව සෞන්දර්යයෙන් සපිරි බදුලු පුරවරයේ සොඳුරු පරිසරය සැදැහැති ලකුණෙන් පහන් කරවීමට මේ ඓතිහාසික මුතියංගන මහා සෑ රදුන් සමන් වී සිටියි.

දීඝවාපී පුදබිම.

බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේදී දිවා ගුහාවෙහි දිවා විහරණය කිරීමෙන් අනතුරුව දීඝවාපියට සපැමිණ දීඝවාපී චෛත්‍ය රාජයාණන් පිහිටා ඇති ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිටි බව වංශ කතා මගින් සනාථ වෙයි.

සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන දීඝවාපිය අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුවට ආසන්නව දීඝවාපි ග්‍රාමසේවා වසම තුළ සමන්තුරය හා අක්කරපත්තුව අතර පිහිටා තිබේ. මෙය අයත් වන්නේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයටය.

බුදුන් වහන්සේගේ පහසින් අති පූජනීයත්වයට පත් වූ නිසාම මෙය සුවිශේෂී වූ පුද බිමක් වශයෙන් සැළකිය හැකි ය.

දීඝවාපිය ඉපැරණි ශාක්‍ය ආර්ය ජනපදයකි. දීඝායු කුමරා විසින් ගල්ඔය නිම්නයේ ගොඩනංවන ලද දීඝ ජනපදය මේ යැයි කියැවෙයි. ධාතු වංශයට අනුව මෙය දිඝා වැව ලෙස සඳහන් වීමෙන් හැඟී යන්නේ මෙහි දීර්ඝ වූ වැවක් නිසා දීඝවාපිය වශයෙන් වැහැරූ බවකි. දීඝවාපිය පසු කලෙක දිගාමඩුල්ල වශයෙන්ද ප්‍රකටව තිබේ.

මෙම දිගාමඩුල්ලෙහි මහා වැවක් කරවන ලද්දේ කාවන්තිස්ස රජතුමා විසිනි. එදා මෙම ජනපදය කෙත් වතු වලින් සපිරි සශ්‍රීක ගොවි බිමක් වශයෙන් පැවතුනි. කාවන්තිස්ස රජතුමා සේරුවිලයාදි දීඝනඛය පිහිටන ස්ථානයේ දිගාමඩුල්ලෙහි සද්ධාතිස්ස කුමාරයා නැවැත් වූ බව ධාතුවංසය පවසයි.

දීඝවාපි චෛත්‍යය කරවන ලද්දේ සද්ධාතිස්ස කුමාරයා :ක්‍රි.පූ. 137 -119 - විසිනි. මෙම ස්තූපයට සත් රුවන් සැට්ටයක් කරවා පළඳවා රියසක පමණට :කරත්ත රෝද- මලින් අලංකාර කර පූජා කළ බව මහා වංශයේ සඳහන් වෙයි.

ජනප්‍රවාදයේ පැවැත එන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ නිය ධාතුව නිධන් කර මෙම ස්තූපය සාදා ඇති බවයි.

පූජාවලියට අනුව මෙය දීඝානඛා වෙහෙර ලෙස හඳුන්වයි. මහනුවර යුගයේ නම් පොතෙහි මෙය හඳුන්වන්නේ නඛ වෙහෙර නමිනි. මලියදේව නම් මහ රහතන් වහන්සේ මෙහි සිට ධජග්ග සූත්‍රය දේශනා කළ අතර එය ශ්‍රවණය කළ භික්‍ෂූන් වහන්සේ හැට නමක් රහත් වූ බව පපංචසුදනියෙහි සඳහන් වෙයි.

සද්ධාතිස්ස කුමරු අනුරාධපුරයේ රජවීමෙන් පසුව තම පුත් ලජ්ජතිස්ස කුමරුට දිගාමඩුල්ල පාලනය පැවැරූ බවත් ඔහුගෙන් පසුව මෙම ප්‍රදේශය අභාවට පත්වූ බවත් කියැවෙයි.

ඉන්පසුව මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා නඛ වෙහෙරට ගිය විස්තරයක් මහාවංශයේ සඳහන් වෙයි.

දීඝවාපිය පුරාවිද්‍යා කැණීම් වලදී වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබේ. ඒ අනුව ස්තූපය වටා ප්‍රාකාර බැමි දෙකක්ල තිබුණු බවත් ඒ අතර කලාත්මක වාහල්කඩ තිබූ බවත් තහවුරු වී තිබේ. ගරාවැටුණු බටහිර වාහල්කඩ සුන්බුන් අතර තිබී හමුවූ රන් කරඬු තුනක් සහ රන්පත් ඉරු සන්නසක් වැදගත් ඓතිහාසික පසුබිමක් නියෝජනය කරයි.

මෙම සන්නස ක්‍රි.ව.දෙවන සියවසෙහි ලියන ලද්දකි. මහල්ලක නාග රජ කණිට්ඨතිස්ස රජ මෙම සන්දේශයෙන් හඳුනා ගැනීමට ලැබෙයි.

එසේම අඩි 4 1රැ2 ක් පමණ උසැති කවන්ධ :හිස නැති- හිටි පිළිම වහන්සේල කුඩා ඔත් පිළිමය සහ ධ්‍යාන මුද්‍රාව නිරූපණය කරනා හිඳි පිළිම වහන්සේ අනුව සිතාගත හැක්කේ මෙහි පිළිම ගෙයක් තිබූ බවය.

මෙම කැණීම් වලදි පැරැණි බෝධිඝරයකල ආවාසල ගෘහයක සහ ආරෝග්‍ය ශාලාවක ශේෂයන්ද තහවුරු කරගෙන ඇත. මෙහි අක්කර 500 කට අයත් ප්‍රදේශවල ආරාමික ශේෂයන් මතු විය. අක්කර 12,000 ක් පමණ වූ දීඝවාපියට අයත් ව තිබූ පුළුල් වපසරියක් තුළ තවත් බොහෝ නටබුන් රැසක් සොයා ගෙන තිබේ.

මේ සියලු පුරාවිද්‍යා සාධකයන්ගෙන් පෙනී යන්නේ පැරැණි දීඝවාපි පුදබිම ඉතා පුළුල් බෞද්ධාගමික මධ්‍යස්ථානයක්ල වශයෙන් පැවැති බවයි.

කාලයද කෙමෙන් ගෙවී යද්දී මේ වටිනා බෞද්ධ උරුමයට අයත්ව තිබූ භූමි ප්‍රදේශයද ඇකී මැකී යමින් අද දීඝවාපියට ඉතිරිව ඇත්තේ කුඩා භූමි ප්‍රදේශයකි. නටබුන් වූ චෛත්‍ය තවමත් මනාසේ ගොඩනැඟී නොමැත.

අප මාතෘ භූමියට ධර්මදීපය යැයි විරුදාවලිය ලැබීමට එක් ප්‍රබල හේතුවක් වූයේ කුදුමහත් කඳු සිඛරයන් මතල නිල්වන් කෙත්වතු ඉහැත්තෑවේ මහා සාගර බඳු වැව් තාවුළු සමීපයේල සොඳුරු තෝ තැන්නේ ඉදිවූ චෛත්‍ය මණ්ඩලයක ආනන්දනීය වූ දර්ශනය නිසාය. සතර දිසා ඇද බැඳ තබා ගත් මෙවන් මහා සෑ රඳුන් හඬගා කීවේ මේ අපේ මව් බිම ධර්මදීපයක්ම කියාය.

ඒ නිසාම ලාංකේය බෞද්ධ ජනතාව විශේෂයෙන් මේ දීඝවාපිය වැනි පුදබිම් වඩාත් හොඳින් බලා හදාගෙන දියුණු තියුණු කළ යුතු වන්නේ මෙය නැගෙනහිර ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධය, බෞද්ධ උරුමය නඟා සිටුවීමල සුරැකීම වෙනුවෙන් මහාමේරුවක් සේ පෙනී සිටින අභිමානවත් ප්‍රභල සංකේතයක් වන බැවිනි.

දිවාගුහාව.

(ස්ථානය තවමත් නිවරදිව සොයා ගෙන නැත.)ජීවමාන බුදුන්ට සමාන අනුරැවක් ඇතැයි ජනප්‍රවාදයේ එයි.දිවාගුහාව සොයා ගත යුතු කාලයයි මේ)
බුදුන් වහන්සේ සමන්තකූටයට වැඩ ගිරග මත සිරිපා ලකුණ සටහන් කර දිවා විහාරණය :දිවා විහාරය- සඳහා කඳු සිඛර පා මුල වූ ගුහාවකට වැඩිය බව වංශ කතා වල සඳහන් වෙයි. බුදුන් වහන්සේ දිවා කාලය විවේක සුවයෙන් ගත කළ ස්ථානය නිසා මෙය දිවා ගුහාව වශයෙන් ප්‍රකට විය. භගවා ගුහාවල භගවාලෙන යන වෙනත් නම් වලින් ද කියැවෙන්නේත් මෙයම ය.

දිවා ගුහාව පිහිටා ඇත්තේ ශ්‍රී පාද කන්ද පාමුල බව සිතීමට හැකි සාක්‍ෂී බොහෝමයක් තිබේ. මහාවංශය පවසන්නේ සංඝයා සහිත වු සේක් ඒ පර්වත පාදයෙහි සැපසේ දිවා විහරණය කොට.... ආදි වශයෙනි. පූජාවලියට අනුව සමනොල ශ්‍රී පාදය ඔබා එගල් පා විට භගවත් නම් ලෙන වැඩ හිඳ සමවත් සුවයෙන් දිවා විහාර කොට..ලෙස සඳහන් වෙයි. වෙදෙහ සාමින් විසින් රචිත සමන්තකූට වර්ණ ගාථා වලින් ද සමන්කුළ පාමුල දිවා ගුහාව පිහිටා ඇති බව පැවසේ.

සිරිපා මළුව සිට හැටන් පාර දිගේ අඩි 300 ක් පමණ බසින විට මාවත වම් පස අඩි 8 1රැ2 ක් උස අඩි 25 ක් පමණ දිගැති කොටසක් හාරා පළල් කළ ක්‍රමයෙන් නැමී ගිය රමණීයල පිහිටි ගල් ගුහාවකි. සුමන සුරිඳුන්ගේ ආරාධනාවෙන් සමන්කුළු මත සිරිපා ලකුණූ තැබු තථාගතයාණන් වහන්සේ දිවා විහරණය කළ සේක් පර්වත පාදයෙහි නුදුරින් පිහිටි තෙල ගල් ගුහාවේ යැයි සිතිය හැක. :සබරගමු පැරැණි ලියවිලි - පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල-

නිශ්චිත වශයෙන් මෙහි සඳහන් වන ගල්ලෙන කිසිසේත් අපට අමතක කර හෝ මග හැර යා නොහැකි ය. එතැනට පිවිසෙන ගවේෂකයාට මෙම ලෙන ඉදිරියේ වන ගල්බිත්තියේ ඇති සෙල් ලිපිය ඇස ගැසෙණු ඇත. කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා :ක්‍රි.ව. 1187- සිරිපා වැඳි ආකාරය දක්වන රේඛාමය රූ සටහනත් පේලි 7 කින් යුතු අඟල් 10 ක් දිග අඟල් 9 ක් පළල සෙල් ලිපියත්ල ඊට දකුණු පසින් ඇති අඩි 5 අගල් 6 ක් දිග සහ අඩි 1 යි අඟල් 10 ක් පළල පේලි 14 කින් යුතු සෙල් ලිපියත් මේ ගුහාවේ ඉදිරියේ වන ගල් බිත්තියේ සටහන්ව තිබේ. පොළොන්නරු සමයේ සිංහල අක්‍ෂරයෙන් ලියන ලද මෙම සෙල් ලිපි දෙකෙන් මුල් සෙල් ලිපියේ කොටා ඇති රේඛා සිතුවමෙහි උස් හිස් වැස්මකින් සහ ශරීරය අලංකාර කරන ලද ආභරණ ද පැළැඳ වන්දනීය ඉරියව්වෙන් පිළිබිඹු වන මානව රූපය කීර්ති ශි‍්‍ර නිශ්ශංක රජතුමාගේ බව සනාථ කර ගත හැක.

රජතුමා ඇද සිටින්නේ පොළොන්නරු යුගයට අයත් ඇඳුම් බව වියත් මතය යි. එහි ඇති අක්‍ෂරයන් මෙසේ ය. නිශ්ශං-ක පරාක්‍රමබාහු-හු චක්‍රවර්ති ස්වාමින්වහන්සේ-පදලස දා -බැඳ බැස සිටි-නියායිග මෙහි වචන වෙන් කර තිබෙන්නේ එම පේලි හතේ තිබෙන ආකාරයට ය. දෙවැනි සෙල් ලිපියේ සඳහන් වන්නේ නිශ්ශංකමල්ල රජතුමා සිරිලක එක්සේසත් කළ බවත් සිරිපාමළුව රජත මාලයන්ගෙන් සහ නව රත්නයන්ගෙන් සැරැසූ බවත්....ආදි වශයෙනි. මෙහි සමහර අක්‍ෂර මැකී ගොස් ය.

ගල් පස් රොඩු ආදියෙන් මුහුණත වැසි ඇති කටු කොහොළු වන ලැහැබ ආක්‍රමණයෙන් මෙම ඓතිහාසික ස්ථානය ගන වනයට වහන් වී තිබෙයි. ඒවා ශුද්ධ පවිත්‍ර කර ඇතුළත පාදා ගතහොත් සමහරවිට තවත් ඵෙතිහාසික සාධක මතුකර ගැනීමට පුළුවන් විය හැකි ය. දහස් ගණන් වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට යන මඟ ආසන්නයේ පිහිටා තිබුණ ද එය වනගහනය විසින් සඟවා තබාගෙන සිටියි. එහෙත් රජතුමා සෙල් ලිපියක් කෙටීමට මෙවැනි ස්ථානයක් තෝරා ගැනීමම විශේෂයක් නො වන්නේ ද?

ගවේෂකයකුට මෙය කදිම සාක්‍ෂියකි. ඒ ඔස්සේ ගමන ඇරැඹිය හැක. දිවා ගුහාව සොයා නොගන්නා තාක්කල් දිවාගුහා තැන තැන බිහිවේ..මිනිසා ද මංමුලා වෙයි. ඒ උතුම් පූජනීය ස්ථානයේ වටිනාකමද හෑල්ලු වෙයි. ඉතින් දැනට ඇති සාක්‍ෂි මත පිහිටා හෝ දිවාගුහාව සොයායන වන්දනා චාරිකාව ඇරැඹිය යුතුය. ඒ ගුහා විහාරයට හෙට මලක් පහනක් පුදන්නට අපට පින ලැබේවායි ප්‍රාර්ථනා කරමු.



free counters