සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම චෛත්‍යය වශයෙන් සැලකෙන රුවන්වැලි මහාසෑය පිළිබඳව මහාවංසයේ සඳහන්ව ඇත්තේ “මහාථූප” යනුවෙනි. මහාථූපය තැනවීමේ ප්‍රවෘත්තිය මහාවංසයේද, ථූපවංසයේද සවිස්තරාත්මකව දක්වා තිබේ. ස්තූපය තැනවීම ආරම්භ කර මේ අවස්ථාව අනුරාධපුරයේ සිදු වූ ඉතාමත්ම අලංකාර උත්සවයක් ලෙස පැවැත් වූ ආකාරය පූර්වෝක්ත වංස කතාවන්හි විස්තර වේ.

රුවන්මැලිසෑ පැරණි චූඩාමාණික්‍යය හා

රුවන්මැලිසෑ ප‍්‍රතිසංස්කරණයට ලක්ෂ දෙකහමාරක් පිරිනැමූ ගැමි සිටු වරයා
එය1912 වසරේ ජුනි මස 03 වැනිදාය. තවත් ආකාරයකින් කියනවා නම් එම වසරේ පොසොන් පුර පසළොස්වක පෝ දිනයයි. දහස් සංඛ්‍යාත සැදැහැවත් බොදු බැතිමතුන් පිරිසක් සුදෝ සුදු වතින් සැරසී සුදුවන් වැලි තලයෙන් යුතු රුවන්වැලි සෑ මළුවේ බණ භාවනාදී පිංකම්හි නිරතවී සිටිති. සුදු වතින් සැරසීගත් බාලිකාවෝ පිරිසක් එම සැදැහැවතුන් වෙත පැමිණ ආධාර එකතු කරමින් සිටිති. ඒ රුවන්වැලි සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහාය.
ප‍්‍රසන්න පෙනුමකින් යුතු උත්තුංග දේහධාරී වයෝවෘද්ධ සැදැහැවතෙක් කුඩා පිත්තල වංගෙඩියක් තුළ බුලත් විටක් කොටමින් සිටියේය. ආධාර එකතු කරමින් පැමිණි බාලිකාවෝ ඔහු වෙත පැමිණියහ.
”සීයා.... චෛත්‍යයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට ආධාරයක් දෙන්න.” බාලිකාවන් අතර සිටි කටකාර එකියක් කීවාය.
”සීයා?... මම කොහොමද බොලාට සීයා වෙන්නෙ?” වයෝවෘද්ධ සැදැහැවතා සිනාමුසු මුහුණින් යුතුව මෘදු ස්වරයෙන් ඇසීය. ඔහුගේ ප‍්‍රශ්නයට පිළිතුරක් සොයාගත නොහී දැරියෝ පසුබා නිහඬව බලා සිටියහ.
ඒ දරුවො ඔහේට සීයා කියල කථා කළේ වැඩි ආදරේට නේ අප්පුහාමි. සැදැහැවතා අසලින් වාඩිවී සිටි එම වියේම පසුවන අනෙක් සැදැහැවතා බාලිකාවන් වෙනුවෙන් කථා කළේය.
එහෙමද? එහෙනම් ලියාගනිල්ලා මගෙන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක්. සැදැහැවතා ගත් කටටම කීවෙන් බාලිකාවෝ ඔහුට උපහාසාත්මක ලෙසින් සිනාසෙමින් එතැනින් නික්ම ගියහ.
ඇත්තටමද අප්පුහාමි ඔහේ ඒ දරුවන්ට ලක්‍ෂ දෙකහමාරක් ලියා ගන්න කිව්වේ? මිතුරා සැදැහැවතා අමතා ඇසීය.
අද මේ පොසොන් පුර පසළොස්වක පෝය දවසෙ අටසිල් සමාදම් වෙලා මේ උතුම් රුවන්වැලි සෑ මළුව ඉඳගෙන බොරු කියනවද මම? ඇත්තටම රාළහාමි ඔහේගෙ ඔළුවෙ අමාරුවක් තියෙනවාද? සැහැදැවතා සිනාසෙමින් තම මිතුරා ගෙන් ඇසීය.
ඒ දරුවෝ නම් ඔහේගෙ කථාව තඹේකට විශ්වාස කළේ නෑ. ඒ නිසා ඔහේ ගැන ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම දන්න මමවත් ඒ වචන විශ්වාස කළේ නෑ අප්පුහාමි. මිතුරා යළිත් කීවේය.
රුවන්වැලි සෑ මළුව ඇතුළු මුළු ප‍්‍රදේශය පුරා සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර ඔස්සේ ඒ මොහොතේ නිවේදනයක් නිකුත් විය.
තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥධාතු නිදන් කර ලංකාවාසී සැදැහැවත් ඔබ සැමට නිවන් පුර රුවන් දොර විවර කැරදීම සඳහා එදා අපේ ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු මහ රජාණන් විසින් ඉදි කරන ලද්දාවූ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ මේ වන විට තරමක් අබලන් තත්ත්වයකට පත්ව ඇති බැවින් වහා කළ යුතු ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා පුණ්‍යකාමී සැදැහැවත් ඔබ සැමගෙන් ශක්ති ප‍්‍රමාණයෙන් ආධාර අපේක්‍ෂා කෙරේ. සංසාර ගමන් මග කෙටි කැර ගෙන නිවන් දැකීමේ අරමුණ පෙරදැරි කැරගෙන මේ උතුම් පොසොන් පුර පසළොස්වක පෝදා මේ රුවන්වැලි සෑ පින්බිමේ අටසිල් සමාදම් වී සිටින සැදැහැවත් ඔබ සැම දහඩිය මහන්සියෙන් උපයාගත් මුදලින් මේ උත්තම පුණ්‍යකර්මය සඳහා තම තමන්ගේ ශක්ති ප‍්‍රමාණයෙන් දායක වන ලෙස අපි ඔබ සැමට කාරුණිකව ආයාචනා කරමු.
ශ‍්‍රද්ධා සම්පන්න ඔබේ නොමසුරු ආධාර භාර ගැනීම සඳහා මේ පුණ්‍ය භූමියේ පිහිටුවා ඇති කාර්යාලයේ නිලධාරී මහත්වරු සූදානම්ව සිටින බැවින් මේ උදාරවූ පුණ්‍ය කර්මයට දායකවී සුවදායිවූ මරණයක් කෙළවර අජරාමර නිවන් සුව ප‍්‍රාර්ථනා කැර ගන්නා ලෙස සැහැදැහැවත් ඔබ හැමට අපි ගෞරවපූර්වකව ආයාචනා කරමු. මේ එම නිවේදනයයි.
”අප්පුහාමි ඔහේට ඇහුනැයි? අපි යමුද ඔහේගෙ අර ලක්‍ෂ දෙකහමාර දෙන්න? මට නම් ලක්‍ෂ ගණන් නැති වග ඔහේ දන්නවනේ? මම බොහොම අර පිරිමැස්මෙන් ඉතිරි කර ගනිපු රුපියල් පන්සීයක් තියෙනවා. මගේ මිය පරලොව ගිය මාපියන්ට පින් සිද්ධ වෙන්න කියල මම ඒක පූජා කරනවා. මිතුරා එකී සැදැහැවතාට කීවේය.
කොටමින් සිටි බුලත් විට අතට හලා එය දත් නැති මුව තුළ රුවාගත් හෙතෙම තම කුඩා පිත්තල වංගෙඩිය ශුද්ධ පවිත‍්‍ර කැර ගමන් මල්ල තුළට දමාගෙන නැගී සිටියේය. ”යමු රාළහාමි යමු” හේ පෙරමුණ ගනිමින් මිතුරා ඇමතීය.
දෙමිතුරෝ රුවන්වැලි සෑ කාර්යාලය භූමිය වෙත පැමිණෙද්දී එහි දිගු පෝලිමකි. එහි සිටි හැමෝම රුවන්වැලි සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහත් ශ‍්‍රද්ධාවෙන් භක්තියෙන් දායක වෙනු පිණිස පැමිණියෝ වූහ. ඒ දෙමිතුරෝද පෝලිමේ අගට එකතු වූහ. රුපියල් දාහට වැඩි විශේෂ ආධාර දීමට බලාපොරොත්තු වෙන පින්වතුන් පෝලිමේ සිටීනම් කරුණාකර පෝලිමෙන් ඉවත්වී කාර්යාලය තුළට පැමිණෙන්න. සංවිධායකවරු ශබ්ද විකාශන යන්ත‍්‍රය හරහා තවත් නිවේදනයක් නිකුත් කළහ.
පෝලිමේ සිටි ගරු ගාම්බීර මහේශාඛ්‍ය පෙනුමෙන් යුතු ප‍්‍රභූවරු රැුසක් පෝලිමෙන් වෙන්වී කාර්යාලය තුළට ගියහ.
”අන්න අප්පුහාමි... ඇහුණ නේද ඔහේට? ඔහේත් යන්න කාර්යාලය ඇතුළට. මිතුරා කීවේය.
අප්පුහාමි කාර්යාලය තුළට ඇතුළු විය. සල්ලිකාර ප‍්‍රභූවරුන් විස්සක් තිහක් පමණ එම කුඩා කාර්යාලය තුළ තෙරපෙති. දුප්පත් ගැමියකුගේ පෙනුම ප‍්‍රදර්ශනය කළ අප්පුහාමි ඒ හැමට විහිළුවක් උපහාසයක් වූ සෙයකි. ඔවුන් අප්පුහාමි නොරුස්නා සෙයක්ද මොනවට ප‍්‍රදර්ශනය විය. අප්පුහාමි ඔවුන් දෙපසට කරමින් ඉදිරියට ගියේය.
”ඔන්න මහත්තයා ලියාගන්න මගෙන්.....” අප්පුහාමිට සිය වාක්‍යය නිම කරන්නට ඉඩ නොදෙමින් එහි සිටි ප‍්‍රභූවරයෙක් කථා කළේය.
”ශත දහයක්” ඔහුගේ බහට එහි සිටි ප‍්‍රභූවරු සැවොම උපහාසාත්මක ස්වරයෙන් උස් හඬින් සිනාසෙන්නට වූහ.
”නෑ ශත විසි පහක්” අප්පුහාමි ඊටත් වඩා උස් හඬින් කීවෙන් ප‍්‍රභූවරු යළිත් සිනාසෙන්නට වූහ.
”ඔය මහත්තයා යන්න අර පෝලිමට. මෙතැන ලියන්නෙ රුපියල් දාහට වැඩි විශේෂ ආධාර” සංවිධායකයෙක් කීවේය.
”මහත්තයෝ ලියාගන්නකො විසි පහ ලියල දාන්න ඒකට අගට තව බිංඳු හතරක් අප්පුහාමි උස් හඬින් කියා ආඩම්බර ලීලාවෙන් වට විට බැලූවේය.
”මොනවා? ශත දෙලක්‍ෂ පනස්දාහක්? අපබ‍්‍රංශයක්නෙ?” සංවිධායකයා විමතියෙන් ඇසීය.
”පිස්සෙක්... ඔල්මාද කාරයෙක්.... අංගොඩ ඉඳලා ගෙදර යන ගමන්” ප‍්‍රභූවරු මුමුනන්නට වූහ.
”ශත දෙලක්‍ෂ පණස් දාහක් නොවෙයි. රුපියල් දෙලක්‍ෂ පනස් දායක්” අප්පුහාමි යළිත් උස් හඬින් කීවේය. නිලධාරියා අප්පුහාමි දෙස පරීක්‍ෂාවෙන් බැලීය. පාදාන්තයේ සිට කේෂාන්තය දක්වාත් කේෂාන්තයේ සිට පාදාන්තය දක්වාත් අනුලෝම ප‍්‍රතිලෝම වශයෙන් බැලීය.
”නම කොහොමද උපාසක මහත්තයෝ? නිලධාරියා ඇසීය.
දොන් හෙන්ද්‍රික් සිටුගේ..... ගම අකුරැුස්ස හේනෙගම අප්පුහාමි පෙරටත් වඩා උස් හඬින් කීවේය.
නිලධාරියා එම විස්තර ලියා ගත්තේය. තම ගමන් මල්ලෙන් චෙක් පොතක් හා පෑනක් එළියට ගත් අප්පුහාමි වටපිට බැලූවේය. ”ආ..... මේ පුටුවෙ වාඩිවෙලා ලියන්න” නිලධාරියා සිය අසුනින් නැගී සිටිමින් කීවේය.
”අද අපට උච්ඡුාසයන අකැපයි නේ මහත්තයෝ. අද අපි අටසිල් සමාදම් වෙලා නොව. චැක් කඩදාසිය ලියලයි තියෙන්නෙ. අත්සන් කරන්න විතරයි ඇත්තෙ. ”කී හෙතෙම තම චෙක් පොත නිලධාරියාගේ මේසය මත තබා අදාළ චෙක් පතෙහි අත්සන් කළේය.
සැදැහැවතා දෙස උපහාසයෙන් බැලූ, ඔහුට සිනාසුණු යම් යම් උපහාසාත්මක වදන් කියූ එහි සිටි ප‍්‍රභූවරු ඔවුනොවුන්ගේ උරහිස් වලට ඉහළින් එබෙමින් චෙක්පත දෙස බලන්නට වූහ. ඒ ඔහු සැබැවින්ම එහි සඳහන් කැර ඇත්තේ රුපියල් දෙලක්‍ෂ පනස් දහසක්දැයි සැක හැර දැන ගැනීමටය. එහි සැබැවින්ම රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් ලියා තිබිණි.
බොරු කාරයෙක්... වංචා කාරයෙක්.... කපටියෙක්.... පිස්සෙක්..... කාගෙ හරි චෙක් පොතක් අහුලලා වෙන්නැති. ප‍්‍රභූවරු ඔවුනොවුන්ගේ සවන් වලට මුහුණන්නට වූහ. සිය චෙක්පත අත්සන් කළ හෙතෙම එය පරෙස්සමෙන් පොතෙන් වෙන් කැර දෑතින්ම ගෙන නිලධාරියාට පිළිගැන්වීය.
”පින් සිද්ධ වෙච්චාවෙ උපාසක මහත්තයෝ.” නිලධාරියා අසුනින් නැගිට දෑතින්ම එය පිළිගනිමින් කීවේය.
”පින් තමයි මහත්තයෝ ඕනෑ. සල්ලි නම් කොච්චර තිබුණත් කිසි පලක් නෑ. යන කොට එක ශතයක් අරගෙන යන්න පුළුවන්ද? පින් නම් කොච්චර තිබුණත් කාරි නෑ. තියෙන තරමක් අරගෙන යන්න පුළුවනි.” සිනාසෙමින් කී හෙතෙම එළියට බැස රුවන්වැලි සෑය දෙසට හැරී දොහොත් මුදුන් තබා මහ හඬින් ”සාධු සාධු සාධු” කියා වැන්දේය. ඔහුට උපහාසාත්මක ලෙසින් සිනාසුණු යම් යම් උපහාසාත්මක වදන් කියූ ප‍්‍රභූවරු නිහඬව බිම බලාගත්හ. ඔවුන් එවේලේ පරිත්‍යාග කළේ දහස දෙදහස දෙදහස් පන්සීය යනාදී වශයෙනි. එකම ප‍්‍රභූවරයෙක් පමණක් රුපියල් පන් දහසක් පරිත්‍යාග කැර තිබිණී.
අකුරැස්ස, හේනෙගම විසූ දොන් හෙන්ද්‍රික් සිටුගේ අප්පුහාමි උපාසක මහතා රුවන්වැලි සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා කළ අති විශාල වූ එම පරිත්‍යාගය පිළිබඳව එම පින් බිම පුරා තැන තැන සවිකැර තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර හරහා එවෙලේ පටන් පසු දින තෙක් සිය වරක් ප‍්‍රචාරය විය. එසේම පසුදින හිමිදිරියේ අටසිල් පවාරණවී සිය සුපුරුදු අත් දිග මේස් බැනියමෙන් හා කළු කබාෙයෙන් සැරසුණු ඔහුගේ සේයාරුවක් විශේෂයෙන්ම එහි ගෙන්වන ලද ඡායාරූප ශිල්පියකු ලවා ලබා ගැනීමට එහි නිලධාරීහු කටයුතු කළහ.
මෙම ලිපිය සමග පළ කැර ඇත්තේ එදා ගන්නා ලදුව අදද අටමස්ථාන කාර්යාලයේ තැන්පත් කැර ඇති එම දැවැන්ත සේයාරුවේ කුඩා පිටපතකි.
1912 වසරේදී රුපියල් ලක්‍ෂ දෙකහමාරක් යනු අද කාලයේ නම් මිලියන ගණනාවකි. මන්ද? එම වකවානුවේ කම්කරුවෙකුගේ දෛනික වැටුප වූ කලී ශත 05ක් බැවිනි.
අකුරැුස්ස, පරදුව ග‍්‍රාමයේ උපත ලද දොන් හෙන්ද්‍රික් සිටුගේ නම්වූ හෙතෙම ළමාවිය ඉක්මවීමත් සමගම එකල ”පුංචි එංගලන්තය” නමින් විරුදාවලි ලැබ තිබූ දෙනියාය තේ වතු අධිරාජ්‍යයේ පිහිටි තානායමේ සහකාර කෝකියකු ලෙසින් සේවයට බැඳුණේය.
ඉඳහිට ගමේ එන අතරතුරු වත්මන් පොලීසිය පිහිටුවා ඇති ගොඩනැගිල්ලේ එවකට විවෘතව තිබූ අකුරැස්ස තානායමටත් ගොඩවී කථා බහ කැර යාම ඔහුගේ පුරුද්දක් විය. එසේ පැමිණි වාරයකදී දැන හඳුනාගත් සුදු ජාතිකයෙක් ඔහු හා කුළුපග විය.
ඔහු සියරට බලා නික්ම යන අවසන් අවස්ථාවේදී තම බූදලය තරුණ දොන් හෙන්ද්‍රික් සිටුගේට පැවරීය. එම මුදල් වලින් තමන්ගේම ව්‍යාපාරයක් ඇරැඹීමේ අදහසින් පසුවූ ඔහුට කදිම අදහසක් පහළ විය. ඒ එම ප‍්‍රදේශයේ ගම් රැසක සිට අකුරැස්ස නගරයට පැමිණෙන සිය ගණන් වූ ජනතාව නිල්වලා ගෙඟන් එගොඩට මෙගොඩ කිරීමය. හෙතෙම ඒ සඳහා විශාල පාරුවක් තැනවීය. ඒ මගින් ඔහු එක් මගියෙක් එගොඩ හෝ මෙගොඩ හෝ කිරීමට ඔහු අය කළ මුදල ශත භාගයකි. නැතහොත් සල්ලියකි. පාරුව පැදවූ තොටියාට ඔහු එකල ගෙවූ දෛනික වැටුප ශත පහක් විය.
1887 වසරේදී රජය විසින් එම ස්ථානයේ දැවැන්ත පාළමක් ඉදි කරවීමත් සමගම ඔහුගේ පාරු සේවය නිමවිය. නමුත් ඔහු ඒ වනවිට එමගින් විශාල මුදලක් උපයා ගෙන ඉතිරි කැරගෙන තිබිණි.
සිය සුදු ජාතික මිතුරාගෙන් සොයා ගත් මුදල හා තමා උපයාගත් මුදල් යොදා හෙතෙම අකුරැස්ස, හේනෙගම, කියාඬුව යන ප‍්‍රදේශවලින් ඉඩම් අක්කර ගණනාවක් මිලයට ගත්තේය. (එකල ඉඩම් අක්කරයක මිල රුපියල් සියයක් විය.)
ඒවායේ පැඟිරි වගා කළ හේ ඒවායින් පැඟිරි තෙල් සිඳ අලෙවි කළේය. එකල පැඟිරි තෙල් බෝතලයක මිල රුපියල් තුනක් පමණ විය.
දිනෙන් දින පොහොසත්වූ මේ උත්සාහවන්ත තරුණයා පසුව හේනේගම, ගොරගොඩ යන ගම්මාන වලින් ඉඩම් අක්කර සිය ගණනක් මිලයට ගැනීමට සමත්විය. එම ඉඩම් වල තේ වගාකළ හෙගෙම තේ වත්තෙ අප්පුහාමි යන නමින් ප‍්‍රසිද්ධ විය.
අකුරැස්ස ප‍්‍රදේශයේ තේ වගා කිරීමේ ආදි කර්තෘවරයා අප ලිපියේ කථානායක දොන් හෙන්ද්‍රික් විය.
ඇල්ගිරිය ප‍්‍රදේශයේ විසූ ප‍්‍රභූ පවුලක් වූ ජයවර්ධන පවුලේ කුල කුමරියකවූ ජයවර්ධන ලියනගේ ලැවැරස්තිනා හාමි නම් ඇය සමග විවාහ විය. එම යුවළ දුවරුන් සතර දෙනෙකු හා එක් පුතකු ලැබූහ. තමන්ට හරිහමන් අධ්‍යාපනයක් ලැබීමට නොහැකිවූ නමුදු තම දුවා දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබාදීමට ඔවුහු උත්සුක වූහ.
1915 දී ඇතිවූ සිංහල - මුස්ලිම් කෝලාහලවලදී දකුණ පුරා පෙදෙස් රැසක විසූ සල්ලිකාර තරුණයන් රැසක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූහ. දොන් හෙන්ද්‍රික්ගේ එකම පුත‍්‍රයාද ඒ අතර විය. ඔහු නිදහස් කරවා ගැනීමට හෙතෙම නොගත් උත්සාහයක් නැත. ඔහුගේ බරට බර මුදල් වියදම් කැර ඔහු නිදහස් කැර ගැනීමට අවසන ඔහු සමත් විය.
අවාසනාවක මහත. නිදහස් කරගෙන විනාඩි 15 කට පමණ පසු ඔහු මිය ගියේය. ඔහුට මාරාන්තික විෂ සහිත එන්නතක් ලබාදී තිබූ බව කියැවිණි. එසේම ඔහුට නිර්දය ලෙස පහරදී විවිධ කුරිරු වධ බන්ධන පමුණුවා තිබුණේලූ. මේ හැම කරුණු කාරණා හේතුවෙන් ඔහු මිය ගියා විය හැක.
දොන් හෙන්ද්‍රික්ගේ මියගිය පුත‍්‍රයාට දරුවෝ තිදෙනෙක් වූහ. එනම් පුතුන් දෙදෙනකු හා එක් දුවකි. එම දුව විවාහවී සිටියේ එවකට දෙහිවල පිහිටි සුප‍්‍රකට විලියම් බිස්කට් ආයතනයේ අයිතිකරු සමගය.
අප ලිපියේ කථානායක දොන් හෙන්ද්‍රික් අප්පුහාමි යටකී 1912 වසරේදී රුවන්වැලි සෑයට රුපියල් දෙලක්‍ෂ පනස් දහසක් පරිත්‍යාග කිරීමෙන් පසුව දොන් හෙන්ද්‍රික් සිල්වා සිටුගේ නමින් ප‍්‍රසිද්ධ විය.
ඒ දැවැන්ත පරිත්‍යාගයට කෘතවේදී වෙමින් ඔහුට ශ්‍රී මහා බෝධි අංකූර දෙකක් ත්‍යාග වශයෙන් පරිත්‍යාග කැරිණි. ඔහු ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ප‍්‍රධානත්වයෙන් අලි ඇතුන් සහිත මහා පෙරහරකින් එම බෝධීන් වහන්සේලා අකුරැුස්සට වැඩමවාගෙන විත් අකුරැස්සේ තෙපුදෙණිය හා කියාඬුව යන ගම්මානවල තමන්ට අයත් ඉඩම් දෙකක රෝපණය කළේය. ප‍්‍රදේශවාසී බොදු බැතිමතුන්ගේ වන්දනාමානයන්ට ලක්වූ එම බෝධීන් වහන්සේලා සහිත ඉඩම් ඒවායේ පසුකාලීන අයිතිකරුවන්වූ (අකුරැස්ස සෙම්ඩොල් වත්ත හා තේ කම්හලේ අයිතිකරු) පී.එල්. බුද්ධදාස මහතා හා (වත්මන් වැලියන් නෙප්චූන් තේ කම්හලේ අයිතිකරු) පී. හේවාකුරුප්පු මහතා විසින් සසුනට පූජා කරන ලදුව අද සංවර්ධිත විහාරස්ථාන දෙකකි. එනම් තෙපුදෙනිය බෝධිරාජ විහාරය සහ කියාඬුව දස මහා බෝධි සෙනසුනයි.
කම්කරුවකුගේ දෛනික වැටුප ශත 05ක් වූ 1912 වසරේදී රුවන්වැලි සෑයට රුපියල් ලක්‍ෂ දෙකහමාරක් පරිත්‍යාග කළ මෙම ශ්‍රේෂ්ඨ පුරුෂයා සතුව තිබූ අක්කර දහස් ගණන් වූ ඉඩම්වල අද දස දහස් සංඛ්‍යාත ජනතාවක් නිවෙස් තනාගෙන ජිවත් වෙති. එසේම අකුරැුස්ස රෝහල ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් පිහිටුවා ඇත්තේ එකී ඉඩම්වලය.
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග‍්‍රීසි ආචාර්ය පණ්ඩුල ලැබුනුහේවා මහතාට අපේ ගෞරවනීය ස්තුතිය
සටහන හා ඡායාරූප සැපයුම අතුරලිය කේ.ඩබ්ලිව්. ගුණවර්ධන
අනුරාධපුරයේ රුවන්මැලි මහා චේතිය පිළිබඳව මුල් අදහස පහළ වූයේ මිහිඳු මහරහතන් වහන්සේ සමඟ දේවානම්පියතිස්ස රජතුමාණන් සාකච්ඡාවක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මහමෙව්නාවේ භුමි භාගයේ එක්තරා දිනයක සක්මන් කරමින් සිටිනා අතර එක් තැනකට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ එතැන පෙන්වා “මහරජ මතු දිනයක මෙහි රජ පැමිණෙන ඔබගේ මුණුපුරු වූ ගාමිණී අභය නමැති රජෙකු විසින් මෙතැන්හි මහා චේතිය ඉදි කරනු ලබන්නේය” යැයි පැවසූ සේක.
ලෝකයේ සියලු රටවල්වල බෞද්ධයන්ගේ ජන වන්දනීයත්වයට පත් රුවන්මැලි මහාචේතිය ශතවර්ෂ ගණනාවකින් පසුව ලංකාව සුදුජාතීන් විසින් යටත් කරගැනීමෙන් අනතුරුව ප්‍රතිසංස්කරණ හෝ නඩත්තු කටයුතු නොමවීම නිසා ජරාවාසව පැවතිණ. එහෙත් මුළු චේතියම වාගේ ගස් වැවී කන්දක් බවට පත්වී තිබියදීද දුරු බැහැර ප්‍රදේශවලින් පැමිණි වන්දනාකරුවෝ සිය භක්ති ප්‍රණාමය මහා චේතිය වෙත දක්වන්නට යුහුසුලු වූහ. මේ බව එකට ඉංග්‍රීසි රජය යටතේ ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කළ ඉංග්‍රීසි ජාතික ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් මහතාද සහතික කර ඇත.
ඉන්පසුව 1870 ගණන්වල මුලදී ගම්පොළ ප්‍රදේශයේ සිට තවත් දායකයන් කිහිපදෙනෙකු සමඟ පූජ්‍ය නාරංවිට සුමනසාර නම් භික්ෂූන් වහන්සේ නමක් අනුරාධපුර රුවන්මැලි මහාචේතිය වන්දනාමානය පිණිස පැමිණියහ. ශතවර්ෂ ගණනාවක් තිස්සේ වල්බිහිවී ජරාවාසව පැවති මහාචේතියේ දර්ශනය දැක උන් වහන්සේ අතිශයින්ම සංවේගයට පත්වූහ. මෙහිදී උන්වහන්සේගේ සිත තුළ ඇතිවූයේ මොන ලෙසකින් ෙහා් මෙය යථා තත්ත්වයට පත්කළ යුතුය යන්නය.
ඉන්පසුව ආපසු ගොස් සුමාන දෙකකට අනතුරුව බර කරත්තයක උදලු, කැති, පොරෝ ආදී ආයුධද සමඟ තම ගම් පළාතෙන් සොයාගන්නා ලද විසි දෙනෙකු පමණ වු තරුණ පිරිසක් සමඟ උන්වහන්සේ මෙහි පැමිණ ප්‍රථමයෙන් දෙවිදේවතාවුන්ට පූජාවක්ද පවත්වා, තමන් මෙම කටයුතුවලට යෙදෙන බව කියා පා වැඩ කටයුතු පටන්ගත්හ. එම මුල්දින කිහිපයේම ආවාසයක් හෝ සාදා ගන්නට පෙර උන්වහන්සේ වැඩසිටියා යැයි කියන්නේ බර කරත්තයේ අඹරාව යට එළන ලද ගෝනියක සැතපෙමිනි. එහෙයින්ම ස්වල්ප කලකට පසු උන්වහන්සේ ශරීරයේ පිට ප්‍රදේශයේ කුෂ්ටයක්ද ඇතිවූයේ වැලි මැක්කන්ගේ තුඩින් ලද තුවාල නිසාය. එහෙත් ඉන්පසු කුඩා ආවාසයක් සාදාගෙන වැඩසිටිද්දී, රුවන්වැල්ල ප්‍රදේශයෙන් තවත් වන්දනා නඩයක් සමඟ පැමිණි සිංහල ආයුර්වේද වෙද මහත්තයෙකු නාරංවිට හිමියන්ගේ මේ උදාර ප්‍රයත්නය දැක මවිතයට පත්වූහ. එසේම උන්වහන්සේගේ පිටපුරා ඇතිවී තිබෙන කුෂ්ටය දැක කම්පාවට පත්වී “මම ආපසු ගිහිල්ලා එනකොට මේකට බේතක් සාදා එන්නම්” යැයි පවසා ආපසු ගියහ. සති දෙකකට පසු වෙදමහතා තවත් පිරිසකුත් සමඟ මෙහි වන්දනාවට ආවේ කුෂ්ටයට බෙහෙතක්ද සකස් කරගෙනය. බෙහෙත ශරීරයේ පිට ප්‍රදේශයේ තවරා කසායක්ද සාදවා දීමෙන් සති ගණනකට පසු නාරංවිට හිමියන්ගේ එම කුෂ්ටය සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය. මේ අතර මෙහි සිටි වෙද මහත්තයාට සහ අනෙක් අයට එය සතුටට හේතුවක්ද විය.
මෙයින් අතිශයින්ම ප්‍රීතියට පත් නාරංවිට සුමනාසාර නා හිමියෝ එහි චේතියේ උඩ කොටස කඩා ඉවත් කිරීමේදී එහි තිබුණු අඟල් එක හමාරක් පමණ ඇත්දත් බුදුරුවක් ත්‍යාගයක් ලෙස වෙදමහතාට පිරි නැමීය. වෙද මහතාද පින් දීමෙන් යුතුව එය රැගෙන ගොස් එයින් කලකට පසුව එතුමාගේ බෑණනුවන් වූ දොස්තර කෙනෙකුට එය හිමිව තිබිණ. එම දොස්තර මහතා රුවන්මැලි මහා චේතියේ නව නිමැවුම් අවසාන කළාට පසුව එහි ධාතු නිදන් කරන අවස්ථාවේ එම කුඩා ඇත්දත් බුදුරුව තම මාමණ්ඩියටද පින් පිණිස එම ධාතුගර්භයේ තැන්පත් කළහ.
වර්ෂ 1872 දී පමණ නාරංවිට හිමිපාණන් මෙසේ සිය පිරිස සමඟ මහා චේතියේ වූ ගස් කපා ඒ වටා බැම්මක් ඉදිකරගෙන යද්දී මේ කටයුතු ගැන ආරංචි වීමෙන් පසුව ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා වර්ෂ 1876 පෙබරවාරි මාසයේදී සිය පරිවාර පිරිස සමඟම මෙහි පැමිණියහ. පැමිණ නාරංවිට හිමියන්ගේ මේ උදාර කටයුත්තේ අගය දැක තමන් අතින් පවුම් පනහක් ඒ සඳහා පරිත්‍යාග කළහ.
“මෙවැනි ඓතිහාසික කටයුතු මෙසේ පිළිසකර කිරීම ගැන මම අතිශයින්ම සතුටු වන්නෙමි. කුමන ආගමක, කවර ජාතියක වුවද මෙවන් කටයුතු උදෙසා සියලු දෙනාගේම ආධාර උපකාර හැම අතින්ම ලැබිය යුතුය.” යැයි කතාවක්ද කළහ.
ඉන් පසුව එතැනින් ඉවත්ව ගිය ආණ්ඩුකාරතුමෝ මෙම සිද්ධිය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් එංගලන්තයේ එවකට සිටි වික්ටෝරියා මහ රැජිනගේ දැනගැනීම පිණිසද ලියා යැවීය. ඉන් පසුව මෙසේ එහි වටේ ප්‍රාකාරය බැඳ තිබියදී එක්තරා අවස්ථාවක ඇතිවූ නියඟයක් නිසා මුළු පළාතම වියැළී ගොස් තිබියදී උපාසිකාවන් පිරිසක්ද සමඟ පැමිණි දුර බැහැරින් පිරිසක් එම නව නිමැවුම් කළ ප්‍රාකාරයේ අමුතු ක්‍රමයක පූජාවක් පවත්වන්නැයි නාහිමියන්ගෙන් අවසර ඉල්ලූහ. එය නම් තමන් විසින් ගෙන එන ලද සුදු හඳුන් ගලගා අතුල්ලා වැස්ස ලබා දෙන ලෙස ඉල්ලීමේ පූජාවයි. එම පුජාවට නාහිමියන් අතිශයින්ම කැමැති වී හවුල් වී කටයුතු කළහ. ගාථා කියා සෙත් පතා පූජාව අවසාන වෙනවාත් සමඟම මහාවැසි ධාරාවක් ප්‍රදේශය කරා කඩා හැලෙන්නට වූ බවද රැස්ව සිටි සියල්ලන්ටම එය පුදුමයටත්, සතුටටත් හේතුවක් වූ බව කියැවේ. වැස්සෙන් පසු අන්තිමට දක්නට ලැබුණේ නව නිමහන් කළ ප්‍රාකාරයේ ගාන ලද සුදු හදුන් වැස්සෙන් ගලා ගොස් යට තීරුවක් වශයෙන් රැදී මිදී තිබෙන අන්දමය. පසු කලෙකද එය එවන් වැසි නැති කලකදී සිදු කරන මහා පුන්‍යකර්මයක් බවටද ගණන් ගැනිණ.
මෙම කටයුතු මෙසේ සිදු කෙරෙද්දී, රුවන්මැලි මහා චෛත්‍ය වර්ධන සමිතියක්ද ආරම්භ විය. ඇවරිවත්තේ සිට පැමිණි කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා නම් වෙද රාළහාමිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ චෛත්‍ය වර්ධන සමිතියෙන් ඉතිරි, ඉදිරි කටයුතු මහා පරිමාණයෙන් කෙරෙන්නට කටයුතු සැළසුම් කරන්නට කටයුතු යෙදුණු බව පෙනිණ. මෙහිදී අකුරැස්සේ සිට පැමිණි මහා ව්‍යාපාරික සිටුගේ දොන් හෙන්ද්‍රික් සිල්වා හෙවත් හේනේගම අප්පුහාමි, රුවන්මැලි මහා චේතියේ සංවර්ධන කටයුතු උදෙසා මුලින්ම රුපියල් ලක්ෂයක්ද, පසුව තවත් රුපියල් ලක්ෂ එකහමාරක්ද වශයෙන් මුදලින්ම රුපියල් ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කිරීම මෙම යුගයේ දක්නට ලැබුණු අති විශේෂ සිදුවීමක් ලෙස දැක්විය හැකිය.
අද මුදලින් ගණන් ගතහොත් එම රුපියල් ලක්ෂ දෙක හමාර රුපියල් කෝටි විසිපහකට හා සමානය. මෙහිදී සියලු කටයුතු ක්‍රමානුකූලව සම්පාදනය කෙරෙද්දී පිටින් එන වන්දනා කරුවන්ගේ අවශ්‍යතා සඳහා විශ්‍රාම ශාලා දෙකක්ද එහි නිර්මාණ කෙරිණි.
සිටුගේ අප්පුහාමිගේ එවන් විශාල මුදලක පරිත්‍යාගය ගණන් ගත හැක්කේ සිංහල රජ කාලයෙන් පසුව සිංහල බෞද්ධයෙකු විසින් මෙවන් කටයුත්තකට පිරිනමන ලද ඉහළම මුදල් සම්භාරය හැටියටය. ඒ පිළිබඳව අතිශයින්ම සතුටට පත් රුවන්මැලි මහා චේතියේ සංවර්ධන සභාව කැටයම් කරන ලද ඇඳි පුටුවක හිදුවා ගන්නා ලද සිටුගේ අප්පුහාමිගේ පුටුව කරෙන් ගෙන මේවන විට අඩක් නිමවෙමින් තිබුණ මහාචේතිය වටේ හත්වාරයක් සාදු නාද දෙමින් එතුමන්ට ගෞරව සම්මාන දැක්වූහ. එවන් පූජාවක්ද සිරිලක දකුණේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් කරන ලද ප්‍රථම අවස්ථාවය.
රුවන්මැලි මහා චේතියේ කොත් පළඳවා චූඩා මාණික්‍යයද පළදවා නිම කරන ලද්දේ දෙවැනි ලෝක මහා සංග්‍රාමය ලොවපුරා පැතිර ගිය අවස්ථාවේදීය. ලොව සමහර රටවල්වලට අතිශයින්ම ප්‍රචණ්ඩකාරී ලෙස යුද්ධය බලපෑ නමුදු ලංකාවට එතරම් එය බල නොපෑවේ මේ මහා චේතියේ පුන්‍යකර්මය නිසා බව එකල සමහර උගත් ධර්මධර නාහිමිපාණන් වහන්සේලා මෙන්ම විද්වතුන්ගෙන්ද කියැවිණි.
වර්ෂ 1939 නොවැම්බර් 23 වෙනිදා ශ්‍රීමත් ඩී.බී ජයතිලක ඇමැතිතුමා හා ටි.බී රත්වත්තේ දියවඩන නිළමේතුමා විසින් මහාචේතියේ කොත පළඳවනු ලැබීය. ඉන්පසු වර්ෂ 1940 පොසොන් දා චූඩා මාණික්‍යය බුරුම රට සිට ගෙන ආ යූ. විනයාලංකාර බුරුම නාහිමියන් සහ විද්‍යෝදය පරිවෙනාධිපති බද්දේගම ශ්‍රී පියරතන නාහිමියන් අතින් චූඩා මාණික්‍ය පළඳවනු ලැබීය. මෙසේ වූ රුවන්මැලි මහා චේතියේ කොත් පැළැඳවීම හා ඉන් පසු චූඩා මාණික්‍ය පැඳවීමෙන් නිමා කිරීමේ කතාව වෙනම කිවයුතු එකකි.
[සෝමසිරි කස්තුරිආරච්චි]
මහා සෑයේ චූඩාමාණික්‍යය බෞද්ධ ලෝකයේ අපරිමිත ශ්‍රද්ධාව එකලු කළ හැටි
චූඩාමාණික්‍යය තැන්පත් කළ ආධාරකයට රත්තරන් රාත්තල් 12ක්
4 අගෝස්තු, 2018
චූඩාමාණික්‍යය වටේ මැණික්ගල් 4796ක්
වර්ෂ 1921 දී නාරන්විට සුමනසාර හිමියන්ගේ අපවත්වීමත් සමග නොසිතූ අර්බුදයක් නිර්මාණය විය. ගැටලුව පැන නැගුණේ රුවන්වැලි සෑයේ මිහිකාරිත්වය පිළිබඳවය. සුමනසාර හිමියන්ගේ ගෝලයෙකු බව කියාගත් හිමිනමක් පන්සලේ අයිතිය කියන්නට ඉදිරිපත් විය. ආරවුල උසාවියට ගියේය. එහෙත් උසාවි නියෝගයකින් ඒ හිමියන් ඉල්ලූ අයිතිය ප‍්‍රතික්ෂේප විය. රුවන්වැලිසෑ පන්සලේ හිමිකම උඳුරුව හල්මිල්ලෑවේ රේවත හිමියන් වෙත පැවරෙන්නේ ඉන් අනතුරුවය.
සුමනසාර හිමියන් අපවත් වන අවධිය වන විට ඇවරිවත්තේ රන්සිරිනෙල් පෙරේරා වෙදමහත්තයාගේ මූලිකත්වයෙන් රුවන්වැලි චෛත්‍ය වර්ධන සමාගම ඉතා ප‍්‍රායෝගික ප‍්‍රගතියක් දකිමින් සිය කටයුතු පවත්වාගෙන යමින් තිබිණි. එක්දහස් නවසිය විස්ස දශකයේ අග භාගය වන විට දාගැබ් ගර්භයේ කටයුතු නිමාවට පත්වුණේය. හතරැස් කොටුව සඳහා මුල්ගල තබා වැඩකටයුතු ආරම්භ කරගෙන යන ලද්දේ චෛත්‍ය වර්ධන සමිතියේ සභාපති රන්සිරිනෙල් වෙද රාලහාමිගේ ප්‍රධානත්වයෙනි.
මේ කටයුතු පවත්වාගෙන යන අතර රුවන්වැලි සෑ ප‍්‍රතිසංස්කරණයේ දී මහා සිටුවර භූමිකාව රඟ දැක්වූ සිටුගේ දොන් හේන්ද්‍රික් සිල්වා හෙවත් හේනේගම අප්පුහාමි අභාවප‍්‍රාප්ත වූයේය. ඒ වර්ෂ වර්ෂ 1932 දී ය.
මහාසෑයේ හතරැස් කොටුවේ ධාතු නිධන් කිරීමේ ගම්භීර උත්වය පැවැත්වුණේ වර්ෂ 1933 දෙසැම්බර් මාසයේය. මේ අවධිය වන විට රන්සිරිනෙල් වෙදරාලහාමි අතිශය රෝගී තත්වයෙන් පසුවූයේය. ඉන් වසර දෙකකට පසු, එනම් වර්ෂ 1935 දී රන්සිරිනෙල් වෙද රාලහාමි මෙලොව හැර ගියේය. දුටු ගැමුණු රජු චෛත්‍ය කර්මාන්තයේ අවසානය නොදුටුවා සේය. ‘සියවස් අටක් තිස්සේ වන වැදී තිබූ ජාතියේ මහා අභිමානය වූ මහා සෑය යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවූ මහා පුරුෂයන් තිදෙනා වන නාරන්විට සුමනසාර හිමි, සිටුගේ දොන් හෙන්ද්‍රික් සිල්වා හෙවත් හේනේගම අප්පුහාමි හා රන්සිරිනෙල් වෙදරාළහාමි ඒ උත්තුංග කර්තව්‍යයේ නිමාව නොදැක මෙලොව හැර ගියහ.,
රන්සිරිනෙල් වෙද රාලහාමිගේ දියණියගේ සැමියා වූ මහර ඒබරං එදිරිසිංහ වෙද මහත්තයාය. සිය මයිලනුවන් ගෙන ගිය ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්නට ඒබරං එදිරිසිංහයෝ ඉදිරිපත් වූහ. ඔහු චෛත්‍යවර්ධන සමිතිය සදහා නායකත්වය ලබා දුන්නේය.
සෑයේ උසට ගැළපෙන අන්දමේ කොත් වහන්සේ නමක්‌ නිර්මාණය කිරීමේ කාර්යය රන්සිරිනෙල් වෙද රාලහාමි ජීවත්ව සිටි අවධියේදීම පිත්තල කර්මාන්තයේ නියැළෙන පිළිමතලාවේ විසූ ශිල්පීන් කණ්‌ඩායමකට භාර කර තිබිණි. ඔවුහු අඩි 26 ක්‌ උසැතිව පිත්තලින් කොත් වහන්සේ නමක් ඉදිකළහ. එහි බර ටොන් 6 ක්‌ පමණ විය. කොතේ වැඩ නිමා කරන විට රන්සිරිනෙල් වෙදරාලහාමි ජීවතුන් අතර නොවීය. පිළිමතලාවේ සිට කොළඹට රැගෙන ආ කොත් වහන්සේගේ ස්‌වර්ණාලේප කිරීමේ කටයුත්ත සුබ මොහොතින් ආරම්භ කරනු ලැබුවේ රන්සිරිනෙල් වෙද රාලහාමිගේ බිරිඳ වූ මැටිකොටුවේ හාමිනේ විසිනි. කොත් වහන්සේගේ ස්වර්ණාලේප කටයුතු අවසන් කිරීමට තුන් මසක් ගත විය.
අනතුරුව චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීහු තවත් ගැටලුවකට මුහුණ දුන්හ. ඒ කොත් වහන්සේට සරිලන ප්‍රමාණයේ චූඩාමාණික්‍යයක්‌ නිර්මාණය කරගැනීම සඳහා අවශ්‍ය විශාල ප්‍රමාණයේ පළිඟුවක්‌ සොයාගැනීමය. බොහෝ ආයාසකර උත්සහයන්ගෙන් අනතුරුව මෙම චූඩාමාණික්‍යය මේ රටෙන් සොයාගත නොහැකි බව ඔවුහු අවබෝධ කරගත්හ.
චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීහු අවසානයේ ඒ වන විට ලංකාවේ වැඩ සිටි බුරුමයේ යූ. විනයාලංකාර නාහිමි සොයා ගියහ. මේ අවධිය වන විට උන්වහන්සේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමය සහ දෙමටගොඩ ශ්‍රී මකුටාරාමය යන උභය විහාර ආරම්භ කරමින් එහි විහාරාධිපතිව වැඩ විසූහ. උන්වහන්සේ ලංකා ස්‌වේජින් මහානිකායේ මහානායක වශයෙන් ද කටයුතු කරමින් උන්හ.
චූඩාමාණික්‍යයක් සපයා දීම පිළිබඳව ආරාධානව චෛත්‍යවර්ධන සමිතියෙන් ලැබෙන අවධියේ විනයාලංකාර හිමියන් සිටියේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහභාගී වෙමිනි. විනයාලංකාර හිමියෝ ඇරයුම පිළිගත්හ. දළදා මාලිගා ප්‍රතිසංස්කරණ කටයුතු වලින් තාවකාලිකව ඉවත් වූහ. අනතුරුව චූඩාමාණික්‍යය සඳහා සුදුසු පළිඟුවක් සෙවීමේ අපේක්ෂා පෙරදැරිව වර්ෂ 1938 මැයි මාසයේදී බුරුමයට වැඩම කළහ.
හවැනි පළිඟු සෑදීම සඳහා ප්‍රකටව පැවතියේ බුරුමයේ මෝගොක්‌ නම් නගරය ය. විනයාලංකාර හිමියෝ කෙළින්ම මොගොක් වෙත වැඩම කළහ. වැඩමකොට සිය අභිප්‍රාය එහි විසූ ප්‍රධාන ව්‍යාපාරික පිරිසට දැන්වූහ.මෝගොක් හි එවකට සාරවත් ව්‍යාපාරයකට හිමිකම් කියූ දානපති සිවුපොළක් තමන් සතුව තිබූ විශාල ප්‍රමාණයේ පළිඟුවක්‌ විනයාලංකාර හිමිට ලබා දුන්හ. ඒ සඳහා ඔවුහු ශතයක මුදලක් ලබා නොගත්හ. පින් තකා ඒ මහානර්ඝ පළිඟුව පූජා කළහ.
වර්ෂ 1938 අගභාගයේ දී විනයාලංකාර හිමියන් මෙරටට වැඩම කරන්නේ බුරුම ධානපතියන් පූජා කළ පළඟුවත් රැගෙනය. උන්වහන්සේ චෛත්‍යවර්ධන සමිතියට පළිඟුව භාරදුන්හ. එහෙත් ඒ වන විට එවැනි විශාල පළිඟුවකින් චූඩාමාණික්‍යයක් කැපිය හැකි තාක්ෂණය අපේ රටෙහි නොවීය. චූඩාමාණික්‍යය සඳහා ඇවැසි මිනුම් ද පළඟුවද රැගෙන හිමියෝ නැවත වරක් බුරුමයේ මොගොක් නගරය වෙත වැඩම කළහ. එවැනි මැණික් කැපීමේ තාක්ෂණය ප්‍රගුණ කළ කර්මාන්තකාරයෝ ඒ නුවර විසූහ. නියම කර තිබූ මිනුම්වලට පළිඟුව කැපීම ඇරඹිණි. එහෙත් නියමිත හැඩය ගැනීම සඳහා පළිඟුවේ එක පසකින් අවශ්‍ය ප්‍රමාණය නොවීය. දැන් විනයාලංකාර හිමියන්ට සිදු වී තිබුණේ ගත් සියලු උත්සාහයන් අත්හැර චූඩාමාණික්‍යය කැපීමේ කාර්යය නවතා දැමීමට ය. එහෙත් අධෛර්යයට පත් නොවූ උන්වහන්සේ නැවත වරක්‌ බුරුමයෙන් විශාල ප්‍රමාණයේ පළිඟුවක්‌ සෙවීමේ මෙහෙයුම ඇරඹූහ.
මේ අතර විනයාලංකාර හිමිට දැනගන්නට ලැබෙන්නේ මීට පෙර තමන්ට පළිඟුවක් පරිත්‍යාග කළ ව්‍යාපාරිකයන් සිවුදෙනාගේ පතලකින් මෙතෙක්‌ මෝගොක්‌ නගරයේ කිසිදු පතලකින් හමු නොවූ තරමේ විශාල පළිඟුවක්‌ හමු වූ බවය. උන්වහන්සේ නැවත වරක් එම ව්‍යාපාරිකයන් වෙත වැඩම කළහ. තමන්වහන්සේ මුහුණ පෑ ගැටලුව විස්‌තර කළහ. කතාව සාවධානව අසා සිටි මේ සුධීහු ඒ දැවැන්ත පළිඟුව ද විනයාලංකාර හිමියන්ට පරිත්‍යාග කරන්නට ඉදිරිපත් වූහ.
අනතුරුව මෝගොක්‌ නගරයේ පළිගු කපන්නන් ලවා උසින් අගල් 18 ක්‌ ද, වට ප්‍රමාණය අගල් 25.5 වන සේ චූඩා මාණික්‍ය කපාගැනීමට විනයාලංකාර හිමියෝ කටයුතු කළහ. එය බරින් රාත්තල් 12.5ක් විය.‌ චූඩාමාණික්‍යය ස්‌වර්ණමය ආධාරකයක්‌ මත පිහිටුවා බුරුම බෞද්ධයන්ගේ පරිත්‍යාගයක් ලෙස ලංකාවට ලබාදීමට කටයුතු සම්පාදනය විය. එහි මුල්තැන ගත්තෝ විනයාලංකාර හිමියෝය. බොහෝ බුරුම බෞද්ධයන් රන්රිදීමැණික්‌ මෙන්ම මුදල් ද මෙම කාර්යය සදහා පරිත්‍යාග කළහ. චූඩාමාණික්‍යය තැන්පත් කරන ස්‌වර්ණමය ආධාරකය තැනීමේ කාර්යය මෝගොක්‌ නගරයේ සිටි ධනවත් බෞද්ධයෙක් භාරගත්තේය. ඒ සඳහා හෙතෙම නව උපකරණ මිලට ගත්තේය. අනතුරුව රන්කරුවන් සිය නිවසේ නවතාගෙන එම නිර්මාණය නිමා කිරීමට කටයුතු කළේය.
ස්‌වර්ණමය ආධාරකය රිදියෙන් වාත්තු කොට රන් ආලේප කිරීමට සැලසුම් විය. ස්‌වර්ණමය ආධාරකය පුරා මැණික්‌ ඔබ්බවීමටත්, චූඩාමාණික්‍යය මස්‌ථකයේ රනින් ධාතු කරඬුවක්‌ නිමවීමටත්, ඒ මත සිට සිවු දිශාවට මැණික්‌ වැල් දැමීමටත් කටයුතු යෙදිණි. ස්‌වර්ණමය ආධාරකය නිර්මාණය කරන්නට මාස නවයක් ගතවිය. ආධාරකය ඉදි කරන්නට රන් රාත්තල් 12 ක්‌ සහ රිදී රාත්තල් 152 ක්‌ යොදාගෙන තිබිණි. ඊට ඔබ්බා තිබූ මැණික්‌ ගල් ප්‍රමාණය 4796 ක් විය. අවසාන චූඩාමාණික්‍යය මත පිහිටු වූ ස්‌වර්ණමය ධාතු කරඩුවේ සර්වඥ ධාතූන් වහන්සේලා 98 නමක්‌ තැන්පත් කෙරිණි.


free counters