සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම චෛත්‍යය වශයෙන් සැලකෙන රුවන්වැලි මහාසෑය පිළිබඳව මහාවංසයේ සඳහන්ව ඇත්තේ “මහාථූප” යනුවෙනි. මහාථූපය තැනවීමේ ප්‍රවෘත්තිය මහාවංසයේද, ථූපවංසයේද සවිස්තරාත්මකව දක්වා තිබේ. ස්තූපය තැනවීම ආරම්භ කර මේ අවස්ථාව අනුරාධපුරයේ සිදු වූ ඉතාමත්ම අලංකාර උත්සවයක් ලෙස පැවැත් වූ ආකාරය පූර්වෝක්ත වංස කතාවන්හි විස්තර වේ.

ශ්‍රී ලාංකේය ජන විඥානයයි මහා බෝධි සංස්කෘතියයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 
ඉතිහාස අංශයේ මහාචාර්ය 
හඟුරන්කෙත ධීරානන්ද හිමි

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ හා සංඝමිත්තා මෙහෙණියගේ ශ්‍රී ලංකාගමනයත් මහබෝධිය වැඩමවීමත් ඒමඟින් දේශීය සංස්කෘතියේ ප්‍රවර්ධනයට ඇති කළ බලපෑමත් නිසා ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවස, ශ්‍රී ලංකා ආගමික හා ජාතික ඉතිහාසයේ සුවිශේෂ වූ සන්ධිස්ථානයක් සනිටුහන් වන කාල පරිච්ඡේදයක් ලෙසින් වසර දෙදහස් පන්සිය පනස් අටක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ජන විඥානයට බද්ධ කරගනිමින් ශ්‍රී ලාංකේයයන් විසින් සිය අනන්‍යතාවය තහවුරු කරගෙන තිබේ.
ශ්‍රී ලාංකේය වංසකතා සාහිත්‍ය මෙන්ම අට්ඨකතා සාහිත්‍යයෙන් හෙළි දැක්වෙන තොරතුරු මත ක්‍රි.පූ. තෙවැනි සියවසේ දී අශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් හා මොග්ගලිපුත්තතිස්ස තෙරුන්ගේ උපදේශකත්වයෙන් දියත් කරනු ලැබූ ධර්ම ප්‍රචාරක වැඩ පිළිවෙළේ එක් ප්‍රතිඵලයක් ලෙසින් මහින්ද මාහිමියන් ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායම ලක්දිවට වැඩම කළහ. එවකට ලක්දිව අනුරාධපුර පාලක වූ දේවානම්පියතිස්ස (ක්‍රි.පූ. 250 – 219) රජු මුණ ගැසීම, රජු ඇතුළු පිරිසට දහම් දෙසීමෙන් අනතුරුව රජු ඇතුළු පිරිස ප්‍රථමයෙන් බුදුදහම වැළඳ ගැනීම හා අනෙකුත් රාජකීය පිරිස් මෙන්ම මහජනතාව ද බෞද්ධාගමේ ගිහි පාර්ශ්වය නියෝජනය කළ උපාසක උපාසිකාවන් බවට පත්වීම හා කෙටි කලක් තුළ බෞද්ධාගම රාජ්‍ය ආගම බවට පත්වීමත් නිසා බුදුදහම පදනම් කරගත් බෞද්ධ සංස්කෘතියක් මෙරට ස්ථාපිත වීමට මහත් රුකුලක් විය.
මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කොට කෙටි කලක් තුළ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් තැම්පත් කරලීම පිණිස ස්තූප නිර්මාණය කරමින් බෞද්ධ පූජ්‍ය වස්තූන් ගොඩනැගීමේ කාර්යය ආරම්භ කරලීය. මෙතෙක් කලක් මෙරට සමාජගතව පැවැති මළවුන් පිදීම වැනි අංගයන් සඳහා නව අර්ථකථනයක් ස්තූප නිර්මාණය තුළින් ශ්‍රී ලාංකේය ජනතාව විෂයෙහි ලබා දුන් අතරම ඒ හා බැඳුනු බෞද්ධ සංකල්ප රැසක්ම මෙරට වැසියනට ලබාදීමට ද පියවර ගත්හ. මෙම අවස්ථාව බෞද්ධාගම ජනතාව අතරට ගෙනයාමේ මුල් පියවරක් සේ සැලකිය හැකි ය.
මානුෂිකත්වය පෙර දැරිකරගෙන, රජමැඳුරේ සිට දුගී පැල දක්වා සැමට එක ලෙසින් බෞද්ධාගමේ පණිවිඩය ගෙනයාමත් තවදුරටත් සිය ආගමික කටයුතු වඩාත් හරවත්ව සාධාරණව හා ක්‍රියාශීලීව ජනතාව අතරට ගෙනයාම පිණිස මිහිඳු මාහිමියන්ගේ ආරාධනයෙන් සිය නැඟණිය වූ සංඝමිත්තාවගේ ශ්‍රී ලංකා ගමනය ද අතිශයින්ම වැදගත් වූ කරුණක් විය. මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කොට පවත්වනු ලැබූ ධර්මදේශනාවන් නිසා බෞද්ධාගම පිළිබඳව අවබෝධයක් ලත් ඇතැම් ගිහි පිරිස් ශාසනය තුළ පැවිදිවීමට කැමැත්ත පළ කළහ. භික්ෂු ශාසනයක් පැවැති හෙයින් පුරුෂ පක්ෂයට ඒ සඳහා පහසුවක් වූ අතර කාන්තා පක්ෂයට මීට අවස්ථාවක් මුල් අවධියේ නොවූයෙන් අනුලා දේවිය ප්‍රමුඛ කාන්තාවන් පන්සියයක් පමණ පැවිද්ද අපේක්ෂාවෙන් කළ ඉල්ලීමට අනුව භික්ෂුණි ශාසනයක් මෙරට පිහිටුවීමේ අවශ්‍යතාවය මිහිඳු හිමියන් විසින් රජුට පෙන්වා දෙන ලදී. ඒ අනුව මිහිඳු හිමියන්ගේ උපදේශකත්වයෙන් හා දේවානම්පියතිස්ස රජුගේ අනුග්‍රාහකත්වය මත සංඝමිත්තා තෙරණිය වැඩමකරවීමේ අභිලාෂයෙන් අරිට්ඨ ඇමැති ප්‍රමුඛ ශ්‍රී ලාංකේය දූත පිරිසක් අශෝක අධිරාජයා වෙත යවන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් සංඝමිත්තා භික්ෂුණිය ප්‍රමුඛ වියත් භික්ෂුණින් පිරිසක් ලංකාවට වැඩම කර ඇත.
ශ්‍රී ලාංකේය කාන්තාවගේ විමුක්තිය පතා ලක්දිවට වැඩම කළ සංඝමිත්තාවගේ ලංකාගමනය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එක් සුවිශේෂ කඩයිමක් සනිටුහන් කරන්නක් වේ. සංඝමිත්තාවගේ ලංකාගමන වනාහි ශ්‍රී ලාංකේය කාන්තාවනට නිවන් දොර විවර කරදීමට මං හෙළි කළා පමණක් නොව ඔවුනගේ සමාජ හා මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරලීමට හා තහවුරු කරලීමටත් ඉවහල් වූ කරුණක් ලෙසින් ද ඉතිහාසගතය. මෙහි සෘජු ප්‍රතිඵලය වූයේ පුරුෂ පක්ෂය හා සමානත්වයකින් සමාජයේ ඉදිරියට ඒමට හා සමාජ කාර්යයන් සඳහා සිය දායකත්වය ලබාදීමට ඇයට අවස්ථාව හා ඉඩකඩ විවරවීමය. අධ්‍යාත්මික, අධ්‍යාපන හා ආත්මීය විශ්වාසයෙන් පිරිපුන් කාන්තා සමාජයක් මෙරට තුළ ඇතිවීම කෙරෙහි සංඝමිත්තා මෙහෙණිය ඇතුළු භික්ෂුණියන්ගේ නායකත්වයෙන් දියත් කළ ශාසනික ක්‍රියාදාමයෝ සුවිශේෂිතය. මේ නිසා පුරාතන ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ විරෝදාර කාන්තාවන් ලෙසින් සිහිපත් කෙරෙන විහාරමහාදේවි, සෝමාදේවි හා සීවලි වැනි ජාතිමාමකත්වයෙන් හා ආගමිකත්වයෙන් පිරිපුන් කාන්තාවන් දේශයට බිහිවීමට මං පෑදිනි.
සංඝමිත්තා මෙහෙණිය සමඟ ගයාවෙන් ලබාගත් මහාබෝධියේ දක්ෂිණ ශාඛාව ද ඒ හා සබැඳි අභිචාරවිධි පැවැත්වීම පිණිස දහඅටකුලීන පිරිසක් ද සමඟ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවනු ලැබීම දේශීය සමාජය බෞද්ධ සංස්කෘතියක් මත තවදුරටත් තහවුරු කරලීමට මහත් දායකත්වයක් ලබාගැනීමට ඉඩකඩ ලැබුණි.
මහාබෝධිය වැඩමවීමත් සමඟ එතෙක් පැවැති වෘක්ෂ වන්දනය නව අරුතක් දෙමින් බුදුරදුන්ගේ පාරිභෝගික චෛත්‍යයක් ලෙසින් නවාංග රැසක් දේශීය සංස්කෘතියට එක්වීම ද බෞද්ධ කටයුතුවලට හා එහි ඉදිරි ගමනට ශක්තියක් මෙන්ම ආශිර්වාදයක් ද විය. තාම්ම්‍රලිප්ති වරායෙන් ලක්දිව ජම්බුකොළ පට්ටනයට සඟමිත් තෙරණිය ප්‍රමුඛව සපැමිණි දූත පිරිස හා මහාබෝධිය මහත් හරසරින් දේවානම් පියතිස්ස රජු විසින් පිළිගනු ලැබූ අතර නාගදීපයේ පශ්චිමාරාමයෙහි බෝධි ශාඛාව ප්‍රථමයෙන් තැන්පත් කරමින් සිය ගරුත්වය දක්වා සිය රාජ්‍යයෙන්ද පූජා කොට ඇති මෙම අවස්ථාව ශ්‍රී ලාංකේය පාලකයෙකු මහාබෝධිය විෂයෙහි රාජ්‍යය පූජා කළ ප්‍රථම අවස්ථාව වන අතර රාජ්‍යය හා ආගම අඛණ්ඩ සම්බන්ධතාවයක් ගොඩනැගීම කෙරෙහි මෙම ක්‍රියාදාමය ද එක් අතකින් බලපෑ බව පැහැදිලි කරුණකි. අනතුරුව මහත් සේ අලංකාරවත් වූ පෙරහරකින් තිවක්ක වැනි බ්‍රහ්මණ ග්‍රාමයන් පසු කරමින් අනුරාධපුරයට මහාබෝධිය වැඩම කරවා ඇත. වැඩමවනු ලැබූ මහාබෝධි ශාඛාව අනුරාධපුරයේ මහාමේඝ වනෝද්‍යානයේ රෝපණය කළ අතර එම මහා උත්සවය තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමයේ පිරිස් කාජරගාමයේ හා චන්දන ගාමයේ ක්ෂත්‍රීය පිරිස් වැනි උතුරු දකුණු ප්‍රදේශ වැසි ප්‍රභූ කණ්ඩායම් රැසකගෙන් හා වැසි බොහෝ ජනයාගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලැබිණි. මෙම අවස්ථාව වසර දෙදහස් පන්සිය ගණනක් පැරණි මහාබෝධි සංස්කෘතියේ ආරම්භක අවධිය ලෙසින් හා දේශයේ සමඟිය ආගමික පදනමක් මත ඉස්මතු කළ අවස්ථාව සේ දැක්ම නිවැරැදිය.
මහාබෝධි ශාඛාවෙන් හටගත් ප්‍රථම බෝධි අංකුර ශ්‍රී ලංකාවේ උතුරු දකුණ ඇතුළු අනෙක් ප්‍රදේශවල රෝපණය කිරීම පිණිස කටයුතු යෙදීම බෞද්ධ සංස්කෘතියක් යටතේ එක්සේසත් වූ ශ්‍රී ලාංකේය සමාජයක් ගොඩනැඟීම පිණිස තැබූ මුල් පියවරක් ලෙසින් දැක්විය හැකිය. බෝවත්තේගල කොට්ටදැමුහෙළ වැනි දක්ෂිණ ලංකාවේ පිහිටි ක්‍රිස්තු පූර්ව තෙවැනි දෙවැනි සියවස්වලට අයත් අභිලේඛන ඇසුරෙන් හෙළි දැක්වෙන ආකාරයට හා ධාතුවංසය පෙන්වා දෙන ආකාරයටත් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට පෙර අවධිය ශ්‍රී ලංකාවේ දකුණ හා නැගෙනහිර ප්‍රදේශ දසභාතික ක්ෂත්‍රිය පිරිසකගේ නායකත්වය යටතේ පාලනය වූ බව පැහැදිලිය. පෙරියපුළියන්කුළම ලෙන් ලිපි දක්වන ආකාරයට අනුරාධපුරයෙන් උතුරු ප්‍රදේශය ද ස්වාධීන ප්‍රාදේශීය පාලකයන් යටතේ පැවැති බව සනාථ වේ. එමෙන්ම අනුරාධපුරයට උතුරින් තිවක්ක බ්‍රාහ්මණ ග්‍රාමය පිහිටා තිබෙන්නට ඇති අතර ඔවුන් ද එම අවධීයේ ඒ කලාපය තුළ දේශපාලන මෙන්ම සමාජීය බලයක් හිමිකරගත් පිරිසක් සේ හඳුනාගත හැකිවේ. එවැනි ප්‍රභූ පිරිස්වල සහභාගිත්වයෙන් යුතුව අනුරාධපුර පාලකයා විසින් මහාබෝධිය මහාමෙවුනාවේ රෝපණය කිරීමත් ඉන් හටගත් අෂ්ටඵලයන් ඒ ඒ ප්‍රදේශ වෙත රෝපණය කිරීම පිණිස ලබාදීමත් නිසා එම ප්‍රදේශ අතර සංස්කෘතික හා දේශපාලන සම්බන්ධතා වර්ධනයවීම කෙරෙහි සෘජුව හා වක්‍රාකාරයෙන් බලපා ඇත. එමෙන්ම පසුව හටගත් දෙතිස් ඵලයන් ද අනෙකුත් ප්‍රදේශ අතර බෙදා හැරීම පිණිස කටයුතු කිරීම මඟින් බෝධිය වනාහි සාමයේ හා බෞද්ධ සංස්කෘතියේ සංකේතයක් ලෙසින් එක්සත් ජාතියක් හා එක්සේසත් වූ දේශයක් බවට පත්කරලීමට පදනම සකස් කළ බවක් පෙනේ. ක්‍රි.පූ. දෙවැනි සියවසේ දී දේශපාලනික වශයෙන් එක්සත් බවක් ඇති කිරීමෙහිලා කටයුතු කළ දුට්ඨගාමිණිගේ ක්‍රියාදාමය සාර්ථකවීම කෙරෙහි දේවානම්පියතිස්ස රජු විසින් ඇති කළ මෙම සංස්කෘතික හා දේශපාලන පසුබිම මහත් ශක්තියක් වූ බව පැහැදිලිය.
එමෙන්ම මහාබෝධිය වැඩම කිරීමත් සමඟ විවිධ කුල හා ශිල්පීය කණ්ඩායම් නියෝජනය කළ කාර්මික පිරිස් ද ශ්‍රී ලංකාවට පැමිණීම මෙරට සංස්කෘතියේ නොයෙක් අංශයන්හි අභිවෘද්ධියක් ඇතිවීම කෙරෙහි සෘජුවම බලපෑ කරුණක් විය. වංසකතාව මෙන්ම අට්ඨකතාව ද සඳහන් කරන පරිදි මහාබෝධියේ කටයුතු මෙන්ම මහාබෝධියේ ආරක්ෂාව පිණිස ද දේව, ඇමැති, බ්‍රාහ්මණ, කුටුම්බික, ගෝපක, තරච්ඡ, කුම්බකාර හා පේසකාර කුල අට බැගින් දහඅට කුලීන පිරිසක් මෙරටට එවා ඇත. මහාබෝධිවංශය දක්වන ආකාරයට සිත්තරුන් මෙන්ම භාණ්ඩ නිෂ්පාදනය කළ පිරිස් හා විවිධ තේවා කටයුතුවල නිරත වූ වාද්‍ය හා නර්තන හා නොයෙක් වෘත්තීන් පිළිබඳ ප්‍රාගුණ්‍යයක් ලබා සිටි පිරිස් ද මෙරටට පැමිණි ශිල්පීය කණ්ඩායම් අතර විය. මෙසේ පැමිණි පිරිස් ඉන්දියාවේ දී ලබාගත් තාක්ෂණික දැනුම මත වාස්තු විද්‍යාත්මක හා නිර්මාණශීලී දැනුම හා තාක්ෂණික ක්‍රමෝපායන්ගෙන් පිරිපුන් පිරිසක් වූ බැවින් ඔවුන්ගේ දායකත්වය දේශීය නිර්මාණ ක්ෂේත්‍රයේ නව පිබිදීමකට අතිශයින් හිතකර සාධකයක් වූ බව පැහැදිලිය. ඒ අනුව එම ශිල්පීය සබඳතාවය ශ්‍රී ලංකාවේ පැවැති එම ක්ෂේත්‍රයන්හි දියුණුවට මඟ හෙළි කිරීමක් වූ අතර එම දැනුම ද පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවටම ආවේණික වූ නව සංස්කෘතික හා නිර්මාණශීලී රටාවක් ගොඩනඟා ගැනීමට ද තව අතකින් බලපෑමක් වූ බව ද කිය හැකිවේ.
එමෙන්ම මහින්දාගමනයෙන් විවර වූ ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික සම්බන්ධතාවය තවදුරටත් ඔපවත්වීම කෙරෙහි මෙන්ම දෙරට අතර සමාජමය හා දේශපාලන සම්බන්ධතා ගොඩනැඟීමෙහිලා ද දුමින්දාගමනයෙන් ඇති වූ සම්බන්ධතාවය අනෙක් අතින් වැදගත් වූ බව ද කිව යුතු ය. ඒ අනුව ඉන්දු ශ්‍රී ලංකා ප්‍රජාව අතර ගොඩනැඟුණු මෙම ආගමික සම්බන්ධතාවය දෙරට අතර ආර්ථික, සමාජ, දේශපාලන හා සංස්කෘතික සම්බන්ධතාවන් දීර්ඝ කාලයක් මුළුල්ලේ අඛණ්ඩව ගෙනයාමට පදනමක් සැකසිනි.
බෝධි සංස්කෘතියෙන් ඇති කළ බලපෑම් සංස්කෘතික පාර්ශ්වයට සම්බන්ධ වන සමාජ ආකල්ප, සිරිත් විරිත් හා උත්සව සම්ප්‍රදායන්හි වෙනස්වීම් රැසක් ඇතිවීම කෙරෙහි සෘජුව බලපා තිබේ. ඓතිහාසික වංසකතා දක්වන ආකාරයට ප්‍රාග් මහින්ද යුගයේ දී කම්මාරදේව ව්‍යාධදේව වැනි දේව ගණයා වෙනුවෙන් වෘක්ෂ වන්දනාවේ යෙදුණු ජනතාවට අර්ථාන්විතව බෝධිය මුල් කොටගෙන ආගමික වතාවත්වල යෙදීමට හා විවිධ පුද පූජාවන් රැසකට ද සම්බන්ධවීමට අවස්ථාවක් ලැබුණි. මහාබෝධිය වඩාත් ජන ජීවිතයට සමීපවීමත් සමඟ එය සමෘද්ධියේ සංකේතයක් ලෙසින්ද සැලකිනි.
කෘෂිකාර්මික සමාජයක ජීවත්වන ශ්‍රී ලාංකේයනට වර්ෂාව මහත් ආශිර්වාදයක් විය. මහාබෝධියට නිසි පරිදි පුද පූජා පැවැත්වීම නිසි කලට වැසි ලැබීමට හේතුවක් බව සැලකූ හෙයින් අතීතයේ සිට ඒ හා බැඳුනු චාරිත්‍ර හා උත්සව රැසක නිරත වීමට ශ්‍රී ලාංකේය ජනතාව පෙළ ගැසුනහ. ඒ අනුව ජනතාවගේ සහභාගීත්වය ඇතිවන උත්සව රැසක් බෝධිය මුල්කොටගෙන දේශීය සංස්කෘතියට එකතුවිය. එම ආගමික උත්සව අතර ස්නාන පූජාව පුරාතනයේ සිට වර්තමානය දක්වා පැවැතෙන පූජා චාරිත්‍රයෙකි. භාතිකාභය, ධාතුසේන වැනි රජුන් දවස පැවැත් වූ මහා ස්නාන පූජා ගැන තොරතුරු වංසකතාවන් තුළ අන්තර්ගතය. නවවැනි සියවසට අයත් කලත්තෑව සෙල්ලිපියේ ස්නාන පූජාව පැවැත් වූ භික්ෂුණීන් උදෙසා ගිතෙල්ගමුව ග්‍රාමය ලබාදී තිබේ. එමෙන්ම සිව්වැනි මහින්ද රජුගේ මිහින්තලා ලිපිය දක්වන ආකාරයට මහාබෝධිය වෙත කළ තවත් මංගල්‍ය උත්සව දෙකක් ගැන තොරතුරු සපයයි. එනම් රුවන් අසුන් බෝමඟුල හා සොම්නස් මහබෝමඟුල යනුවෙනි. වර්තමානයේ මහාබෝධිය වෙත පවත්වනු ලබන මංගල්‍ය උත්සව සමූහයේ ඉතිහාසයේ පුරාතන අවධියේ සිටම චාරිත්‍රානුකූලව කෙරෙන බව මෙම ඓතිහාසික තොරතුරු තුළින් පැහැදිලි වේ. එමෙන්ම බෝධිය පදනම් කරගත් සාහිත්‍යයක් ද දේශීය සාහිත්‍යකරණයට එකතුවීම ද බෝධිඝරය වැනි වාස්තු විද්‍යාත්මක වටිනාකමක් ඇති අංග මෙරට සංස්කෘතිකාංග අතරට එක්වීම දේශීය අනන්‍යතාවය ඉස්මතු කරලීමට වැදගත් ය.


free counters