සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම චෛත්‍යය වශයෙන් සැලකෙන රුවන්වැලි මහාසෑය පිළිබඳව මහාවංසයේ සඳහන්ව ඇත්තේ “මහාථූප” යනුවෙනි. මහාථූපය තැනවීමේ ප්‍රවෘත්තිය මහාවංසයේද, ථූපවංසයේද සවිස්තරාත්මකව දක්වා තිබේ. ස්තූපය තැනවීම ආරම්භ කර මේ අවස්ථාව අනුරාධපුරයේ සිදු වූ ඉතාමත්ම අලංකාර උත්සවයක් ලෙස පැවැත් වූ ආකාරය පූර්වෝක්ත වංස කතාවන්හි විස්තර වේ.

මහ සෑ වඳින්නට පැමිණීම විනෝද ගමනක් කර නොගන්න. වන්දනා ගමනක් කරගන්න.

තුන් ලොව අසිරිමත් මහ සෑ රඳුන් වහන්සේ වන රත්නමාලි මහ සෑ රජාණන්වහන්සේ වන්දනා කරන්නට නොගිය නොපැමිණි බෞද්ධයෙකු ලක්දිව නොමැති තරම්ය.

සමහරැන් වරක් දෙවරක්, තවත් අයෙකු දහ දොළොස් වරක්, තව අයෙකු ඊටත් වැඩි වාර ගණනක් පැමිණ වන්දනා මාන කරගන්නට, පුද පූජා සිදු කරන්නට ඇති. කෙසේ වෙතත් එක්වරක් හෝ අනිවාරෙන්ම බෞද්ධයෙක් නම් පැමිණෙන්නටම ඇති මේ අසිරිමත් බිම්කඩට.

මේ සටහනේ අරමුණ මහ සෑ සමිදාණන් වහන්සේගේ ඓතිහාසික මහ වරැණ කියන්නට නම් නොවේ. අති පූජනීය ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා නොයෙක් විට ඒ අසිරිමත් විස්තරය ඔබට ඉදිරිපත් කරන්නට ඇති සහ ඔබ දන්නවා ඇති.
මේ සටහනේ අරමුණු වන්නේම දැන හෝ නොදැන සමහරක් බෞද්ධ යැයි කියාගන්නා අපේම අය විසින් ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වන් මේ මහා සෑ සමිඳුන් අභියස කරන ඇතැම් මිත්‍යාවන් පිළිබඳ පෙන්වාදීමත්, සැබෑ ලෙසටම මහ සෑ සමිඳුන් වන්දනා කරන ආකාරයත් ඉතාම කෙටියෙන් සඳහන් කිරීමටත් ය.
අපි සිංහල බෞද්ධයන් ලෙස සැබෑවටම අනිකා විවේචනය නොකල යුතු අතර එහෙත් යමක් වැරදි නම්, එය පෙන්වාදී නිවැරදි වියයුතු ආකාරයත් කියාදිය යුතුයමය.
මේ සටහනේ ඇති කරුණු සියල්ල කොතැනකින් හෝ උපුටාගත්තක් නොවන අතර, පූජනීය වන්දනීය ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇසුරේත්, දහම් ශ්‍රවණය තුලින් ලද කරැණු හා ඇතැම් ප්‍රායෝගිකව දුටු දේත් පදනම් කරගෙන සිදුකරන අතර සම්පූර්ණ සටහනේ වගකීම අපි දරන්නෙමු.
ඔබ මහ සෑ සමිදාණන් වහන්සේ වන්දනාවට එන්නට සිතන අයෙක් නම්, අඩුම වශයෙන් දින දෙක තුනක් පෙර සිටම පිරිසිදු වෙන්න.
පිරිසිදුවීම කායිකව පමණක් නොව මානසිකවද සිදුවිය යුතුයමය.
සැබෑ ලෙසම හෘද සාක්ෂියට එකඟව පංචශීල ප්‍රතිපත්තියේ පිහිටා සිටීම ප්‍රමානවත් අතර අටසිල් දස සිල් ආදී උතුම් ඉහල ශීල ප්‍රතිපත්තියක් තුල පිහිටනවානම් වඩාත් යෝග්‍ය වේ.
නිරතුරු මහ සෑයේ අසිරිමත්බව බුද්ධ ශක්තිය මෙනෙහි කරන්න. අප්‍රමාණ කුසලයක් ලැබේ.
මහ සෑ වඳින්නට පැමිණීම විනෝද ගමනක් කර නොගන්න.
වන්දනා ගමනක් කරගන්න.
ඔබ එන්නේ ගඩොල් ගොඩක්, සෑයක් බලන්න නෙවේ. ජීවමාන ඒ භාග්‍යවත් වූ අරහත්වූ සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥරාජෝත්තමයාණන් වහන්සේ දකින්නට, වන්දනා කරගන්නට යන ජීවමාන බුද්ධ සංඥාව නිතර සිහියේ තබාගන්න.
හොඳයි, තෙල් මල් පහන් ගිලන්පස දැහැත් බෙහෙත් සම්බුද්ධ පූජාව පිරිකර සෙසු පිරිකර හෝ කිරි ආහාර ගෙන, අඩු වැඩි වශයෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මහ සෑ රඳුන් වඳින්නට පිවිසෙන ඔබට සිහි ඇතිනම් හොඳින් මතක් කර බලන්න.
මහ සෑ රජාණන්වහන්සේට පිවිසෙන්නට ප්‍රධාන දොරටුවේ සිට පියගැට පෙළවල් තුනක් හමුවෙනවා.
ඔබ මේ පළමු පියවරේ සිටම සිතින් මවාගන්න ඒ අසිරිමත් දෙතිස් මහා පුරැෂ ලක්ෂණයෙන් සමන්විත වූ උත්තම සුගත තථාගතයාණන් වහන්සේ ඔබ දෙස බලාසිටිනවා යන්න.
සිතින් වන්දනා කරන්න.
"ඉතිපිසො භගවා අරහං....
ආදී කොට ඇති තථාගත ගුණයන් ඔබට වැටහෙන විස්තර සහිතව...
දෙවැනි පියගැට පෙළ බසිනවාත් සමඟ වම් පස ඇති පැන් දෝවනය කරන තැනින් මල් වලට පැන් ඉසින්න.
ඔබ නා පිරිසිදු වී පැමිණියද , අත් පා මුහුණ මදක් තෙමා පිරිසිදු කරගන්න. (මුහුණ තෙමා ගන්නවා යනු ජලය අපතේ යවමින් නාන්න කියන එකනං නෙවේ. මතක තබාගන්න.)
⁣දැන් ඔබට තෙවැනි පියගැටපෙළ නැතහොත් අවසාන පඩිපෙළ සම්මුඛ වේ.
එම පියගැටපෙළ නැග අවසානයේ සලපතළ මළුවට පා තැබීමට පෙර මේ දෙය සිතන්න.
"ස්වාමීනි භාග්යවතුන් වහන්ස,ඔබ වහන්සේ වැඩ සිටින සුගන්ධ කුටියට පිවිසෙන්නට අවසර සමාව දෙන සේක්වා!
පලමුවද දෙවනුවද තෙවනුවද අවසර සමාව දෙන සේක්වා!!!
මෙසේ සිතින් සිතා, මහා සෑ සමිඳුන් වහන්සේ ම,
ජීවමාන සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වැඩ සිටිනවාය ලෙසම සිතින් දැක මහ සෑ මළුවට පිවිසෙන්න.
එසේ පිවිස අනතුරු ව මල් පහන් දැහැත් බෙහෙත් පූජාවන් සිදුකර පසඟ පිහිටුවා මහ සෑ රජාණන්වහන්සේ වන්දනා කරන්න.
මහ සෑ රජාණන්වහන්සේ වටා තෙරුවන් ගුණ කියමින් අඩුවශයෙන් තෙවරක් හෝ ප්‍රදක්ෂිණා කරන්න.
වැඩිවාරගණනක් වුවද කම් නැත.
සතර තැනක සිට වන්දනා කරන්න...
"මේ වැඳුම මාගේ ජීවමාන භාග්යවතුන් වහන්සේටම වේවා!!! යන සිතින් ම වන්දනාවේදී සිහිකරන්න.
අනතුරුව ඔබට කැමති බාහිර ශබ්ද වලින් තොර නිදහස් තැනක සිට කාට හෝ කරදරයක් නොවන ආකාරයට, පංච ශීලය සමාදන්ව, තෙරුවන් වන්දනා කර මල් පහන් දැහැත් බෙහෙත් පහන් සුවඳ දුම් පූජාවන් ට අදාල ගාථා සජ්ජායනය කරන්න.
(විශේෂයෙන් කිව යුතු දෙයක් ඇත. අපි මහ සෑ බිමේ දකින දෙයක් මෙය, සමහරු අන් අයටත් බාධාවන පරිදි කෑකොස්සන් ගසමින් උස් හඬින් ගාථා කියනවා.)
ගාථා ශබ්ද නගා නිවැරදි උච්චාරණය ඇතිව කියවීමත්, ඝෝෂාවෙන් කියවීමත් කරුණු දෙකක් බව මතක තබාගන්න.
ඔබ ඔබට ඇසෙන පරිදි ගාථාවන් කියවන අතරම එහි තේරුම් ද දැන කියවන්නේ නම් තවත් බොහෝ කුසල් රැස්වෙනවා.
පිරිත් පොතක් ගෙන යනවානම් ඉතාමත් සුදුසුයි. පිරිත් සූත්‍ර ඔබට හැකි පරිද්දෙන් කියවන්න. තුන් සූත්‍රය ප්‍රධාන කොට තෝරාගත් කුමන සූත්‍රයන් හෝ කියවන්න. විශේෂයෙන්
*බොජ්ජංග සූත්‍ර කිහිපය
*ධජග්ග සූත්‍රය
*මෝර පිරිත
*ඛන්ධ පිරිත
*ධම්මචක්ක දේශනාව
*මහා සමය සූත්‍රය
*ආටානාටිය
වැනි සූත්‍ර දේශනාවන් සජ්ක්ධායනා කරනවානම් ඉතා වටිනවා.
ඔබට පිරිත් සූත්‍ර බැඳි අකුරැ කියවන්නට අපහසු නම් දන්නා අයෙකුගෙන් පුරුදු වෙන්න.
මේ බෞද්ධ තරුණ අපේ තවත් එක් උරුමයක් "පිරැවාණා පොත් වහන්සේ "
*සූත්‍ර 22ක්,
*බණවර 4ක්
ඇතුලත් මේ මහා පොත් වහන්සේ, සිංහල බෞද්ධ තරුණ තරුණියනි ඔබ හස්තසාර වස්තුවක් ලෙසම නිරතුරු පරිහරණය කලයුතුම පුස්තකයකි.
පිරිත් සූත්‍ර සජ්ක්ධායනා කර සෙත් පිරිත් නිමවා,
ඔබට ප්‍රිය සිත වැඩෙන භාවනාවක් කරන්න.
මෛත්‍රීය හෝ වේවා අසුභය, පිළිකුල, අට්ඨිකය, ආයතන, ධාතු මනසිකාරය, ආනාපානය ආදී තමන්ට සිත තැන්පත්වන, සිත සමාධිමත්වන භාවනාවක ⁣මදක් නිරත වෙන්න.
අනතුරුව එය නිමවා,
දෙවියන්ට පින්දී මළගිය සංසාරගත ඥාතීන්ටත් පින් දී ,තෙරැවන් කමාකරගන්න.තම ජීවිතය ජීවමාන භාග්යවතුන් වහන්සේවන් ස්වර්ණමාලී මහ සෑ රජාණන්වහන්සේට පූජා කරන්න.
අප්‍රමාණ කුසලයක් රැස්වේවි.
විවේක ඇත්නම් මහ සෑයේ ගුණ, මහ සෑ වර්ණාව ඔබ දන්නා හැටියට මෙනෙහි කරන්න.
එදා අනු හය කෝටියක් මහ රහතන් වහන්සේලා මේ පින් බිමට වැඩම කල ආකාරය මනසින් මවාගෙන වන්දනා කරන්න.
සෝනුත්තර සාමණේර මහරහතන් වහන්සේ නා ලොවින් ඒ උත්තම සර්වඥරාජෝත්තමයාණන් වහන්සේ ගේ ද රෝණයක් ධාතුන් වහන්සේ වැඩමවාගෙන ආ අයුරු සිතින් මවාගන්න.
සක් දෙව් රජුන් රන් කරඩුවකින් ඒ ධාතුන්වහන්සේ පිළිගත් අයුරු, ජයතුරා සක පිඹින පිඹිමින්ද ,මහා බ්‍රහ්ම දෙවියන් ධවල ඡත්‍රය දරමින්ද දිව්‍ය බ්‍රහ්ම නාග මනුෂ්‍යයන් අනේක පුද පුජා කරමින් අප්‍රමාණ සත්කාර කල ඒ උත්තම පින්බිමේ පහස ලබන්නට ඔබ කෙතරම් වාසනාවන්ත වූවාද සිතා සතුටු වෙන්න.
⁣ජීවමාන සම්මා සම්බුදුරජාණන්වහන්සේ නමකට පමණක් කල හැකි ඒ අසිරිමත් "යමක මහා ප්‍රතිහාර්ය" මේ උත්තම බිමේ ඒ ශාරීරික ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨාන අනුව සිදුකලබව දැක සාධු සාධු සාධු හඬින් සාධුකාර දෙන්න.
මේ සක්වල තිස් එක් තලයේ යම් තැනක භාග්‍යවතුන් වහන්සේ ගේ වැඩිම ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ සිටීනම් මේ ඔබ වන්දනා කරන උත්තම මහ සෑයේ පමණක් ම එවන් ධාතුන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ ආකාරයට වැඩ හිඳිනබව සිහිකරන්න.
මේ ආකාරය⁣ට අප්‍රමාණව මහ සෑ වර්ණනාව බුදු දම් සඝ ගුණ මෙනෙහි කරමින් සිත ප්‍රභාශ්වර කරගන්න.
ගෙදර දරුවො ව්‍යාපාර ණය ආයතන මේ සියල්ලේ ගැටළු මෙහි නොගෙන එන්න.
අප දැක ඇති සමහරැ, මල් එක අතක තබාගෙන දුරකථනය අනෙක් අතේ තබාගෙන කතා කරමින් මල් පූජාකරයි.
කුමන ප්‍රයෝජනයක් ද?
විශේෂයෙන් මහ සෑය වන්දනාවේ පැමිණ කුසල් වෙනුවට අකුසල් රැස්කර ගන්නා පිරිස වැඩිය.
භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින තැනට ඔබ යායුතු ඇඳුම පැලඳුම පවා තේරුම් ගත නොහැකි නාමික බෞද්ධ පිරිස වැඩිවීම කණගාටුවට කරුණක්.
ඇඳුම ගැන කියන්නට ගියහොත් වෙනම සටහනක් ලියන තරමට කරැණු තිබේ. කරුණාකර සංවරව එන්න.
එසේ නොහැකිනම් නවතින්න.
එය ඔබටත් අන්අයටත් යහපතක්.
විශේෂයෙන් අපේ තරුණ ඇතැම් සොයුරියන්ට මේ මතක් කිරීම.
මේ ලඟදී දුටු දෙයකි මේ.....
සමහරු මහ සෑයට මලක් හෝ පූජා කරන්නේ නැතිවම මහ සෑයේ මුල්ම පේසා වලල්ල අසල සලපතල මලුවේ යම් යම් දේ සොයනවා පෙනෙනවා.
මදක් නිරීක්ෂණය කරනවිට මේ අය කතා කරනවා
"මේ කඩොල් ඇතාගෙ දළ තියනවලු, දළ වැඩෙනවලු, ගිය පාර ආවට වඩා ටිකක් වැඩිලා." මේ මතුවෙලා තියෙන්නෙ...
මේ මොන මිත්‍යාවකද මේ මිනිසුන් යන්නේ?
ජීවමාන තථාගතයාණන් වහන්සේ වැඩ ඉන්න තැන ඇතෙක්ගෙ දළ සෙවීම ?
දළ වැඩෙනවා ය කියන තරමට මොන මෝඩ කතාද?
හිතලම බලන්න.
තව දෙයක් ඔබ මහ සෑයට පැමිණ වන්දනාකර සිහිවටනයක් ලෙස ඡායාරෑපයක් ගැනීම කවුරැත් කරන සාමාන්ය දෙයක්.
නමුත් මතක තබාගන්න. ඔබට අවශ්‍යම නම් ඡායාරූපයක් ගත්තාට වරදක් නෑ.
නමුත් කිසිවිට මහ සෑ රදුන්ට පිටුපා එසේ ඡායාරූප ගන්නෙපා.
ඔබ එසේ කරන්නේනම් ඒ භාග්‍යවතුන් වහන්සේට පිටුපෑමක්මයි.
තවද වන්දනාවට හෝ හිඳගැනීමට සලපතල මළුවේ වාඩිවූ වි⁣⁣ට සෑ රඳුන්ට මුහුණලා දෙපා දිගුකර ඉන්නෙපා. බොහෝ අකුසල් සිදුකරගන්නවා.
අනවශ්‍ය කතා, හිස් දේවල් බොරු දේවල් කතාකරන්න එපා...
ඒ වගෙම මහ සෑ රජාණන්වහන්සේ යනු බුදුරජාණන්වහන්සේ ම මිස ඔබට හිතුන හිතුන දේ දෙන කප්රුකක් නොවනබව මතක තබාගන්න.
විශේෂයෙන් අපේ සිංහල බෞද්ධ තරුණ තරුණියන්.
"තම පෙම්වතා පෙම්වතිය තමන්ටම ලැබෙන්න කියලා, තම ආදරය සාර්ථක වෙන්න කියලා, ගෙවල් වලින් කැමැත්ත ලැබෙන්න කියලා, නඩු හබ සාර්ථක වෙන්න, දරුවො ලැබෙන්න කියලා පඬුරු බඳින දේවාලයක් නෙවේ මහ සෑ බිම. හොඳට මතක තබාගන්න.
සැබෑ බෞද්ධයන්ට එහෙම යැදීම් නෑ. ඇත්තේ සත්‍යක්‍රියා අධිෂ්ඨාන පමණි.
තමා නිති ශීලයක පිහිටා ගුණදම් ආරක්ෂා කරමින් සැබෑ බෞද්ධ පිලිවෙතින් ප්‍රතිපත්තියෙන් යුතුව, තමාගේ ශීල ප්‍රතිපදාව සිහිපත් කර ඒ සත්‍යක්‍රියාවෙන් බලයෙන් යම් දෙයක් බලාපොරොත්තු වුවහොත් මහ බෝ මහ සෑ සමිඳුන් අභියස ඒවා බොහෝ විට සාර්ථක විය හැකියි. ඒ හැරුන විට අර වැනිවූ දේ කිසිලෙසකටවත් ඉටුනොවන අතර එය භාග්‍යවතුන් වහන්සේගේ හෝ මහ සෑ රජාණන්වහන්සේගේ හෝ ධර්ම⁣ රත්නත්රයේ වරදක් නොව ඔබගේම වරදක්බව මතක තබාගන්න.
මේ තුන් ලොව මේ මහමෙව්නා පුණ්‍ය භූමිය තරම් වටිනා පින්බිමක් මහ සෑ රජාණන්වහන්සේ තරම් උතුම් චෛත්‍ය රාජෝත්තමයාණන් වහන්සේ නමක් වෙනත් නෑ. ඒ නිසා නිසි ලෙසටම ඒ වන්දනාමාන කටයුතු කරන්න.
කුසල් රැස්කරන්නට පැමිණ අකුසල් රැස්කරගෙන යන්න එපා.
ඔබ මේ බිම රැකගන්න විනාශ කරන්නෙපා. නිකං ඇවිත් මලක් පහනක් පූජාකරලා සාධු කියලා විතරක් යන්නෙපා.
මේ අපේ බෞද්ධ මුදුන්මල්කඩ.
ලෝකයේ හැම කෙනාටම මේ වගෙ අවස්ථාවක් හම්බවෙන්නෙ නෑ.
"Feeling happy ,Enjoy with Anuradhapura කියලා fb එකේ වැලලෙන්න photo දාන්න කලිං මේ කරැණු කාරණා හොඳින් විමසා දැනගන්න.
ඔබ සිංහල තරුණයෙක් තරුණියක් නම් අනිවාර්යෙන්ම බෞද්ධ අපේ උරුමය වටිනාකම් සාරධර්ම සංස්කෘතිය ගැන අවබෝධයක් ලබාගන්න. එය කවදා හෝ ඔබගේ දරුවාටත් කියාදෙන්න...
"දවසක් ඒවි ඔබත් ඇයත් හෝ ඔහුත් ඔබත් එක්ක සුරතලෙක් මහ සෑය වඳින්නට එන දවසක්. එදාට ඒ සිඟිත්තා
"අප්පච්චි, මේ සෑය මොකද්ද ?
අම්මෙ මේ සෑයෙ මොනාද තියෙන්නෙ කවුද හැදුවෙ? ඇයි අපි වඳින්නෙ?
ආදී දහසකුත් එකක් ප්‍රශ්න අහද්දී ඔබ නිරුත්තර වේ නම්? උඩබිම බලන්නට වේ නම්?
එදාට ඔබ, අද මහ උජාරුවෙන් රඟන Tik Tok හෝ වෙන මොනා හෝ මාධ්‍ය ඔබට පිහිටක් උදව්වක් වෙන්නෑ. මතක තියාගන්න...
අප සැමවිට කියන දෙයක් "මැරුණ ගස් වලට වතුර දැම්මට දළු රිකිලි ලියලන්නෑ. අන්න ඒ නිසා ඒ වගෙ වැඩිහිටි පරම්පරාවට වඩා, අනාගතයේ රට බාරගන්නා මේ සම්බුදු සසුන පිහිට කරගන්නා බෞද්ධ තරුණ සොයුර සොයුරිය ඔබටයි මේ මතක් කිරීම හා කාරුණික ආයාචනය...
බොහෝ දේ සටහන් කරන්නට තිබෙතත් කාලය වැඩකටයුතු සමඟ මෙතැනින් සටහනට තිත තබමි.
පුංචි හෝ යමක් ගන්නට ඇත්නම් කෙනෙක් ගන්න.
ගැටෙනා කෙනෙකුන් නොකල දේකට අප හා නොගැටෙන්න.
වැරදි අඩුපාඩු මනුෂ්‍ය අප ඔබ සැමට පොදුයි.
අවශ්‍ය වරද හඳුනාගෙන නිවැරදි වීමයි. ඒ ලෙසට නිවැරදි වෙන කවුරුන් හෝ අයෙක් වේ නම් ඔහුට හෝ ඇයට අපගේ උත්තම නමස්කාරය.
තෙරුවන් සරණයි!!!
නමෝ බුද්ධාය
රත්නමාලි මහ සෑ සමිඳු සරණයි !!!


free counters