සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම චෛත්‍යය වශයෙන් සැලකෙන රුවන්වැලි මහාසෑය පිළිබඳව මහාවංසයේ සඳහන්ව ඇත්තේ “මහාථූප” යනුවෙනි. මහාථූපය තැනවීමේ ප්‍රවෘත්තිය මහාවංසයේද, ථූපවංසයේද සවිස්තරාත්මකව දක්වා තිබේ. ස්තූපය තැනවීම ආරම්භ කර මේ අවස්ථාව අනුරාධපුරයේ සිදු වූ ඉතාමත්ම අලංකාර උත්සවයක් ලෙස පැවැත් වූ ආකාරය පූර්වෝක්ත වංස කතාවන්හි විස්තර වේ.

සම්බුදු ශාසනයේ ලාංකීය නිජබිම මහමෙව්නාව

අනුරපුර ශ්‍රී ජයන්ති විහාරාධිපති, 
උතුර - උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක 
ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි

'සමනාමයං මහාරාජ' යනුවෙන් තමා විසින්ම තමන් හඳුන්වා දෙමින් සම්බුද්ධ ශාසනය කැටිකරගෙන මිහින්තලාවෙන් ශ්‍රී ලාංකික භූමියට පය තැබූ මිහිඳු මහරහතන් වහන්සේ එවකට ශ්‍රී ලාංකේෂවරයාවූ දේවානම්පියතිස්‌ස රජුගේ ආරාධනයෙන් අනුරපුර අගනුවර තුළ පිහිටි 'නන්දන' උයනට වැඩම කළේය. 'නන්දන' උයන අවට පරිසරය තේරුම් ගත් මිහිඳු මාහිමියන් තමන්ගේ බණ භාවනා ආදියට එම පරිසරය අගෝචර යෑයි දේවානම්පියතිස්‌ස රජුට දැන්වීමෙන් පසු දේවානම්පියතිස්‌ස රජතුමා විසින් මහමෙව්නා උයන (මහා මේඝ වනෝද්‍යානය) මිහිඳු මහරහතන් වහන්සේට ගෝචර වනසේ 'මහා මේඝවනාරාමය' සකස්‌කොට මිහිඳු මාහිමියන්ගේ දොaතට රන් කෙන්ඩියෙන් පැන් වඩා මහා මේඝවනාරාමය සහිත මහ මෙව්නාව සඟ සතුකොට පූජා කරන ලද බව මහා වංශයේ සඳහන් වේ. මේ අනුව අනුරපුර මහමෙව්නාව මිහිඳු මාහිමිපාණන්ගේ පාද ස්‌පර්ශය ලත් මහා පින්බිමකි. මෙම මහා පුණ්‍ය භූමිය සඟ සතු කළ මොහොතේ මහ පොළව කම්පා වූ බව මහා වංශයේ සඳහන් වේ. මහ පොළව එසේ කම්පාවූයේ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකා පොතේ තලයේ ස්‌ථාපිත වූ බවට දැක්‌වූ ශුභවාදී සලකුණක්‌ හැටියට යෑයි මහානාම හිමියෝ දක්‌වති.

'මහමෙව්නා පිංබිම' දෙවන පෑතිස්‌ රජු විසින් මායිම් සලකුණු කොට සඟසතු කරන ලදැයි මහා වංශයේ විවරණය වේ. රජතුමා විසින් මේ සඳහා මහා පදුම සහ කුංජර යන සෙනෙවියන් දෙදෙනාට අසුන් බැඳි රන් නගුල්දී සීසාමින් මායිම් ලකුණු කිරීම පටන්ගෙන ඇත්තේ කොළොම් ඔයේ (මල්වතු ඔය) 'ගංගලතිත්ථ' නම්වූ තොටුපළෙන් බව මහාවංශය කියයි. එතැනින් පටන්ගත් මහමෙව්නාවේ මායිම් ලකුණු කිරීම අවසන් කර ඇත්තේ ගංගලත්ථ තොටුපළෙන්මය.

මහා වංශයේ මහානාම හිමි සඳහන් කරන අන්දමට මහමෙව්නා උයන වූ කලී මේ කල්පය තුළ පහළ වූ බුදුවරුන්ගේ පාදස්‌පර්ශය ලැබූ මහා පිංබිමකි. උන්වහන්සේලා බුද්ධත්වයට පත්වීමේදී පිටදුන් බෝධි වෘක්‌ෂයන්ද මහමෙව්නා උයනේ පැවැති බව මහාවංශයේ සඳහන්ය.

මිහිඳු මහරහතන් වහන්සේට මහමෙව්නාව පූජා කිරීමෙන් පසු, ඒ පින්බිම තුළ ස්‌ථාපනය කළ යුතුවූ පුණ්‍යස්‌ථාන අටක්‌ මිහිඳු මාහිමියන් විසින් දෙවනපෑතිස්‌ රජුට පෙන්වාදී ඇත. එම පුණ්‍යස්‌ථාන අට මෙසේය.

1. මහා විහාරය පිහිටි ස්‌ථානය

2. සංඝකර්ම කෙරෙන සඟසතු මාලකය පිහිටුවිය යුතු තැන

3. ස්‌නානයට උණු පැන් ලබාගත හැකි ගිණිහල් පොකුණ පිහිටු විය යුතු තැන

4. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩා හිඳුවිය යුතු තැන

5. සංඝයා වහන්සේ පොහොය කෙරෙන තැන

6. සඟසතු දේ සංඝයා අතර බෙදාහරින තැන

7. චතුස්‌ ශාලාව පිහිටුවන තැන

8. ස්‌වර්ණමාලී චෛත්‍ය රාජයාණන් පිහිටුවිය යුතු තැන

මේ අනුව ජයසිරිමා බෝධිය, ලෝහ මහා ප්‍රාසාදය, මිරිසවැටිය යන පුණ්‍යස්‌ථාන මහා විහාර සීමාව තුළ පිහිටි අතර ථූපාරාමය ජෝතිය වනය තුළ ස්‌ථාපනය කරනු ලැබීය. 'ලක්‌දිව බුදු සමයේ ඉතිහාසය' නමැති මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ ග්‍රන්ථයේ මේ පිළිබඳව විමර්ශනයක්‌ කරමින් සංඝකර්ම සඳහා මාලකයක්‌, සංඝයාට උණු දිය නාන පොකුණක්‌, ශ්‍රී මහා බෝධියට ස්‌ථානයක්‌, සංඝයාගේ උපෝසථ ශාලාවක්‌, ලහබත් ගෙයක්‌, සංඝයාට බත් හලක්‌, රුවන්මැලි සෑ පිහිටන තැන යන ස්‌ථාන කරා කැටුව යමින් මිහිඳු මාහිමියන් විසින් දෙවනපෑතිස්‌ රජුට පෙන්වාදී ඇති බව සඳහන් කර ඇත.

මිහිඳු මහරහතන් වහන්සේ වැඩ විසූ මහා මේඝවනාරාමය හෙවත් මහා විහාරය, පසුවශ්‍රී සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාව තුළ ස්‌ථාපිත කරමින් ව්‍යාප්ත කිරීමේ කේන්ද්‍රස්‌ථානය බවට පත්විය. සම්බුද්ධ ශාසනය අධ්‍යයනය කරමින් පුළුල් ආගමික ජීවනයක්‌ ඇති කිරීම උදෙසා මහා විහාරය ආශ්‍රිතව කාල ප්‍රසාද පිරිවෙණ, සුංහාත පිරිවෙණ, දීඝ වංක පිරිවෙණ, ඵලග්ග පිරිවෙණ, දික්‌සඳ සෙනෙවි පිරිවෙණ වැනි පිරිවෙන් රැසක්‌ ස්‌ථාපනය වූ අතර මේවායේ අධ්‍යාපනය ගොනුවී තිබුණේ ත්‍රිපිටක ධර්මය මුල්කරගෙනය. මේ යුගයේ ශ්‍රී ලංකාවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් පාලි ත්‍රිපිටකයට අටුවා සම්පාදනය කර ඇත.

වලගම්බා රජුන් රජ කළ මේ සමයේදී ලංකාවේ සුප්‍රකට බැමිණිටියා සාය ඇතිවිය. මේ දුෂ්කර අවස්‌ථාවේ දාන මාන හිඟවීමේ හේතුවෙන් මහා විහාරයේ සඟ පරපුර මාතලේ අළු විහාරයට වැඩම කරන ලදුව වළගම්බා රජුගේ අනුග්‍රහයෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරනු ලැබීය. දීපවංශය, මහාවංශය, බෝධිවංශය, ථූපවංශය ආදී ආගමික ග්‍රන්ථ රැසක්‌ මෙහිදී සම්පාදනයවී තිබේ.

සාගත සමය නිමවීමෙන් පසු යළිත් මහා විහාරයට වැඩම කළ සංඝරත්නය ශාසනික කටයුතු කරගෙන යද්දී මහාතිස්‌ස හිමියන් කරන ද විනය විරෝධී ක්‍රියාවක්‌ නිසා මහා විහාරයෙන් පිටුවහල් කර ඇත. මේ සංඝ භේදය මුල්කොට මහාතිස්‌ස හිමියන් විසින් අභයගිරි විහාරාරාමය ආරම්භ කරන ලද අතර එවකට අනුරපුර අගනුවර රජකම් කළ මහසෙන් රජු විසින් අභයගිරි විහාරීය පැත්ත ගත් නිසා අභයගිරිය වහ වහා දියුණු විය. එපමණක්‌ නොව මහසෙන් රජු විසින් මහා විහාරය පොළවට සමතලා කර දමා උඳු වැපිරූ බවට වංශකථාව විස්‌තර වේ. මේ අන්දමට අද මෙන් එදාද ශාසන සංවර්ධනයට රාජ්‍ය ආශිර්වාදය ලැබුණු පරිද්දෙන්ම සමහර රජවරුන් ශාසන විනාශයටද කටයුතු කර තිබේ. කෙසේ වුවද මහසෙන් රජු කරන ලද මහා පාපකර්මයන් පසුව තේරුම් ගැනීමේ හේතුවෙන් නැවත මහා විහාරය යථා තත්ත්වයට පත් කරන ලද අතර කළ පව් ගෙවී යන්නට මෙන් රජරට පුරා මහවැව් ගණනාවක්‌ ඉදිකරමින් වැව් කප්පිත්තා බවට පත්ව ජාතියෙන් සමාව ලබාගෙන ඇත.

ක්‍රිස්‌තු වර්ෂ පස්‌වැනි සියවසදී ලංකාවට පැමිණි පාහියන් භික්‌ෂුවගේ වාර්තාවලට අනුව එකල අභයගිරියේ සංඝ සමූහය පන්දහසක්‌ වූහ. මහා විහාරයේ තුන්දහසක්‌ වැඩ විසූහ. ෙච්තියගිරියේ හෙවත් මිහින්තලාවේ දෙදහසක්‌ භික්‌ෂු සමූහය වැඩවාසය කර ඇත. සජීවි සම්බුද්ධ හිමියන් බඳුවූ උන්වහන්සේගේ ස්‌පර්ශය ලත් එකම සජීවී සංෙ€තය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේ මහමෙව්නාවේ වඩා හිඳුවීමෙන් මහමෙව්නාව මහා පුණ්‍ය භූමියක්‌ බවට පත්විය. ඒ උතුම් ශාසනික සංසිද්ධිය සිදුවූයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‌ෂිණ ශාඛාව බුද්ධ වර්ෂ 236 උඳුවප් මස පුර තුදුවක දා සන්ධ්‍යා සමයේ රෙහෙන නැකත යෙදී තිබූ ශුබ මොහොතේදීය.

මේ අවස්‌ථාව මහාවංශයේ ග්‍රන්ථ ගතකළ මහානාම හිමියෝ සතියක්‌ මුළුල්ලේ ජයසිරිමා බෝ සමිඳුන් රෝපණය කළ තැනින් අතුරුදන්වී සවණක්‌ රැස්‌ පමණක්‌ විහිදුවද්දී මිහිකත සැලෙමින් මහ වැස්‌සක්‌ ඇතිවූ බව විවරණය කරති. මහාවංශයේ 15 පරිච්ඡේදයේ 32, 33, 78, 154 ගාථාවලින්ද, බෝධිවංශයේ 326 සහ 327 පිටුවලින්ද මේ අති උතුම් මොහොත සවිස්‌තරව දක්‌වා ඇත. 

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන, දෙවනපෑතිස්‌ රජු මුල්කොට ශ්‍රී ලංකා ජනතාව බෞද්ධ ආගමිකයන් බවට පත් කිරීම, මහමෙව්නාවේ ශාසනික සේවාව, සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සහ පිරිවරින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‌ෂිණ ශාඛාව ලංකාවට වැඩම කොට මහමෙව්නාවේ රෝපණය කිරීම, අනුලා දේවිය මුල්කොට භික්‌ෂුණි ශාසනය ඇරඹීම යන මේ සියලු කරුණුවලට මුල් වී ඇත්තේ උඳුවප් මාසයයි. 'ශ්‍රී ලංකා බෞද්ධයන්ගේ මාසය' හැටියට සැලකීමට තරම් ඓතිහාසික ශාසනික සේවාවන් රැසක්‌ උඳුවප් මාසය සහ උඳුවප් පෝ දින තුළ සිදුවී තිබේ. 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤


free counters