සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම චෛත්‍යය වශයෙන් සැලකෙන රුවන්වැලි මහාසෑය පිළිබඳව මහාවංසයේ සඳහන්ව ඇත්තේ “මහාථූප” යනුවෙනි. මහාථූපය තැනවීමේ ප්‍රවෘත්තිය මහාවංසයේද, ථූපවංසයේද සවිස්තරාත්මකව දක්වා තිබේ. ස්තූපය තැනවීම ආරම්භ කර මේ අවස්ථාව අනුරාධපුරයේ සිදු වූ ඉතාමත්ම අලංකාර උත්සවයක් ලෙස පැවැත් වූ ආකාරය පූර්වෝක්ත වංස කතාවන්හි විස්තර වේ.

කප්රුක් පූජාව හෙවත් කංචුක පූජාවේ දී ගයන බැති ගායනා


සාදු සාදු සාදු !!!

සුදෝ සුදුවන් රැසින් බබලන මහා චෛත්‍ය රාජයාණෙනි
කසාවත ඔබ වටා ඇති විට රනින් සළුවක් පැළදුවා වැනි
සිතේ ඇතිවන දැහැමි සිතුවිළි අපමණයි සම්බුදු පියාණෙනි
මෙපින් බලයෙන් නිවන් පැතුමට දෙන්න අවසර බුදු පියාණෙනි


මෙවන් දසුනක් නෙත ගැටෙන්නට මගේ දෙනුවන් වාසනාවන්
බුදු හිමිගේ ගුණ කඳ ගයන්නට මගේ මුවඟ ද වාසනාවන්
දොහොත් මුදුන් දී බුදු හිමි වඳින්නට මගේ දෑත ද වාසනාවන්
කප්රුකක් පූජා කරන්නට සසරෙ කළ පින් වාසනාවන්


මෙපින් බලයෙන් අප සැමගෙ කය නිරෝගී වී සුවපත් ම වේවා
නිවන් දකින තුරා තවතවත් පින් කරන්නට ම වාසනා වේවා
සතුරු මිතුරු මැදහත් සියල්ලෝ ම අමා මහ නිවනින් සැනසේවා
බොහෝ කාලයක් සම්බුදු සසුන සියළු දෙවියෝ රකිත්වා


මෙපින් බලයෙන් අපගෙ සිත් සදාකල්හිම දැහැමි වේවා
මෙපින් බලයෙන් අපගෙ වචනයන් ද සදාකල්හිම දැහැමි වේවා
මෙපින් බලයෙන් අපගෙ ක්‍රියාවන් ද සදාකල්හිම දැහැමි වේවා
මෙපින් බලයෙන් අප සැමගෙ සිත් කෙලෙස් මරුගෙන් අත් මිදේවා


මේ සියළු පින් බලයෙන් 
සසර දුක් නැති නිවන් පුරයේ දොර ඇරේවා ///

සාදු සාදු සාදු !!!


කප්රුක් පූජාවේ දී සියළු දෙනා එක්ව එක හඩින් මිහිරි ලෙස මෙම බැති ගායනය කියමින් දක්ෂිණාවෘතව චෛත්‍යය වටා පැදකුණු කරමින් සැදැහැවත් සිතින් යුතුව වන්දනා කරන්න.







free counters