සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම චෛත්‍යය වශයෙන් සැලකෙන රුවන්වැලි මහාසෑය පිළිබඳව මහාවංසයේ සඳහන්ව ඇත්තේ “මහාථූප” යනුවෙනි. මහාථූපය තැනවීමේ ප්‍රවෘත්තිය මහාවංසයේද, ථූපවංසයේද සවිස්තරාත්මකව දක්වා තිබේ. ස්තූපය තැනවීම ආරම්භ කර මේ අවස්ථාව අනුරාධපුරයේ සිදු වූ ඉතාමත්ම අලංකාර උත්සවයක් ලෙස පැවැත් වූ ආකාරය පූර්වෝක්ත වංස කතාවන්හි විස්තර වේ.

සර්වඥ ධාතුන් තැන්පත් කළදා පහළ වූ අත්භූත එළි

බුදු රැස් විහිදීම්, දේවතා එළි ආදිය ගැන අපට වරින්වර අසන්නට කියවන්නට ලැබේ. ඒවා බොහොමයක් රුවන්වැලි සෑය, සෝමාවතිය වැනි වැදගත් බෞද්ධ සිද්ධස්ථාන ආශ‍්‍රිත ඒවාය. බුදු රැස් සහ දේවතා එළි පියවි ඇසින් දුටු අවස්ථා ගැනද ඇති වාර්තා රැසකි. කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයවික‍්‍රම පෙරේරා මහතා පසුගිය සමයේ කිහිපවරක්ම සෝමාවතී චෛත්‍ය රාජයාණන් ආශ‍්‍රිතව බුදු රැස් විහිදීම් පිළිබඳ ඡායාරූපමය සාක්ෂි ජනමාධ්‍ය හරහා ඉදිරිපත් කරන්නට යෙදිණි. ඒවාට විවිධ අය විවිධ අර්ථකථනයන් ද සැපයූ බැව් මතකය. ඩිජිටල් කැමරාවල ආගමනයත් සමග එබඳු සිද්ධීන්ගේ විශ්වාසනීයත්වය වැඩිවී, නව මුහුණුවරක් ගෙන තිබේ. ආලෝක ධාරා විහිදුවමින් මුළු පරිසරයම ඒකාලෝක කරමින් රාත‍්‍රි කාලයේදී දෙවිවරුන්, බුදුන් වහන්සේ හමුවීමට පැමිණි අවස්ථා රැසක් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.
මේ ලිපියේ අරමුණ වන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා ඇසුරු කොට ගත් ආලෝක ධාරා විහිදීම් පිළිබඳව මීට සති දෙකකට පමණ පෙර ලත් සත්‍ය විශ්මිත අත්දැකීමක් වාර්තා කිරීමය. මේ අසිරිමත් අත්දැකීම ඉදිරිපත් කරනු ලබන්නේ මෙරට සැදැහැවත් බෞද්ධ ජනතාව තුළ ශ‍්‍රද්ධාව වැඩි දියුණු කිරීමේ පරම පවිත‍්‍ර චේතනාවෙන් බවද සඳහන් කළ යුතුවේ. මීට වසර 20කට පමණ පෙර හලාවත ප‍්‍රදේශයේ වෙසෙන හැරිටස් වරුෂවිතාන නම් වූ මාගේ පාසල් මිතුරෙකුට ඉතා විශ්වාස කටයුතු මාර්ගයකින් සර්වඥ ධාතුන් වහන්සේලා දෙනමක් ලැබිණි. පාසල් සමයේදී පවා ආගමික පැත්තට නැඹුරුවක් පෙන්වූ වරුෂවිතාන මහත්මා එතුමාගේ ආදරණීය බිරිඳ, දියණිය එකතුව එම ධාතුන් වහන්සේලාට පසුගිය දශක දෙක පුරාම දිනපතා උදේ දහවල් සවස දාන ගිලන් පස මල් පහන් පූජා කරමින් එම ධාතුන් වහන්සේලා රැක බලා ගනු ලැබුයේ අසීමිත බැතියෙනි. ශ‍්‍රද්ධාවෙනි.
මෙම සර්වඥ ධාතුන් වහන්සේලා කොක්කාවිල වනරතන ආරණ්‍යයට පූජා කිරීම මැනැවැයි වරුෂවිතානයන්ට සිත්වූයේ මීට මාස කිහිපයකට පෙරය. කොක්කාවිල වනරතන ආරණ්‍යය යනු හලාවත කුරුණෑගල මාර්ගයේ දහයේ කණුව අසලින් හැරී යා යුතු නිසල සුන්දර පෙදෙසක පිහිටි භාවනා මධ්‍යස්ථානයකි. එම ආරණ්‍යයද වරුෂවිතාන මහතා විසින්ම ඉඩම් හා ධන පරිත්‍යාගයෙන් මීට වසර විසි ගණනකට පෙර ආරම්භ කරන ලද්දකි. දෙස් විදෙස් ගිහියන් මෙන්ම ස්වාමීන් වහන්සේලාද වැඩ වෙසෙන අක්කර 7ක් පුරා පැතිරුණු මේ රමණීය පින්බර ආරණ්‍යයට එම සර්වඥ ධාතුන් වහන්සේලා පූජා කිරීම පසුගිය සැප්තැම්බර් 23 දාට යෙදී තිබිණි.
සර්වඥ ධාතුන් වහන්සේලා වනරතන ආරණ්‍යයට වැඩම කරවීමට හරියටම පැය 24කට පෙර හලාවත ප‍්‍රදේශයේ මාස ගණනක් තිස්සේ පැවති දැඩි නියඟය නිමා කරමින් පුරා පැය 2ක් ධාරානිපාත වැස්සකින් මුළු ප‍්‍රදේශයම යටවී, සේදී පවිත‍්‍ර වී සිසිල් වීමද අසිරිමත් සිදුවීමක් ලෙස ප‍්‍රදේශවාසීහු සලකති. සර්වඥ ධාතුන් වහන්සේලා ආරණ්‍යයට පූජා කිරීමට පෙර දින මල් අතුරන ලද මේසයක් මත කරඬුව විවෘත කොට වැඩ සිටි රන් බඳුනෙන් පිටතට ගෙන ධාතුන් වහන්සේලා වෙන වෙනම කරඬු දෙකක තැන්පත් කිරීමට සූදානම් වූ හැම අවස්ථාවකදීම විශ්මිත ලෙස කාන්දම් දෙකක් එක්වන්නාසේ ධාතුන් වහන්සේලා නැවත එක්වීමද අසිරිමත් දෙයක් විය.
සැප්තැම්බර් 23 වැනිදා උදෑසන 6.30ට ධාතුන් වහන්සේලා රැගත් රිය පෙරහර හලාවත නගරය මැදින් කොක්කාවිල වනරතන ආරණ්‍යයට ළඟාවූයේ දෙපස රැස්ව සිටි ජනයාගේ පූජෝපහාර මධ්‍යයේය.කොක්කාවිල වනරතන ආරණ්‍යයට ධාතුන් වහන්සේලා වැඩම කරවීමෙන් පසු උදෑසන 8.30 සිට සවස 6.30 දක්වා එහි ධර්ම ශාලාවේ මහජන ප‍්‍රදර්ශනය සඳහා තැන්පත් කර තබන ලදී. එම සර්වඥ ධාතුන් වහන්සේලා දෙනමට අමතරව සැරියුත් මහ තෙරුන්ගේ, කාශ්‍යප මහ තෙරුන්ගේ, සීවලී මහතෙරුන් ගේ සහ තවත් මහ රහතන් වහන්සේ කෙනෙකුගේ ධාතුන් වහන්සේලාද ප‍්‍රදර්ශනය කෙරිණි. ඒ වූකලී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිශය දුර්ලභ අවස්ථාවක් විය. ඊට සහභාගිවන්නට ලැබීමද මහත් භාග්‍යයක් කොට සලකමි.
ප‍්‍රදර්ශනය සඳහා ධාතු කරඬුව සූදානම් කිරීමට උදෑසන විවෘත කරනු ලැබූ අවස්ථාව විවිධ කෝණවලින් ඡායාරූප ගත කරනු ලැබූ අතර ඒවායේ කුඩා පබලූ වැනි ආලෝක බින්දු හැරුණු විට වෙනත් විශේෂත්වයක් නොවීය. (රූපය 1)
විනාඩි කිහිපයකට පසු සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින කරඬු සහිත ස්ථානය නැවත ඡායාරූප ගත කරනු ලැබූ විට සර්වඥ ධාතුන් වහන්සේලා ආසන්නයේ ලානිල් පැහැති වාටියකින් යුත් ඉතා දීප්තිමත් ආලෝක ධාරාවක් දිස්විය. එය මේ සමග ඇති ඡයාරූපයේ පැහැදිලිව පෙනේ (රූපය 2) අනතුරුව ධර්ම ශාලාව තුළදී ගනු ලැබූ කිසිම පින්තූරයක එබඳු විශේෂ එළියක් දක්නට නොලැබිණි.
සවස් යාමයේ හිරු බැස ගොස් අඳුර වැටෙත්ම ධර්ම ශාලාව අවට නැවත ඡායාරූප ගත කළ අතර ඒ අවස්ථාවේදී ඒ අසල පිහිටි මාදං ගසට ඉහළින් අහසේ ඉතා දීප්තිමත් ආලෝක ධාරාවන් එම ඡායාරූප වල දක්නට ලැබිණි. (රූපය 3) තවත් ස්වල්ප මොහොතකින් එම ආලෝකයන් මාදං ගස හා ඒ අසල වූ බෝධීන් වහන්සේ අතර දර්ශනය විය. මීට අමතරව ආලෝක ධාරා ගණනාවක් අහස පුරා තිබෙනු කැමරාවට හසුවිය.
රුවන්වැලි සෑය ආශ‍්‍රිතව යම් යම් පුද්ගලයන් විසින් ගෙන තිබූ ඡුායාරූපවල මෙබඳු ආලෝක ධාරා තිබෙනු (ඊමේල් හරහා එවනු ලැබූ ඡායාරූපවල) මා කලින් දැක ඇත. එම ආලෝක ධාරා දෙවිවරුන් හා සම්බන්ධ කොට විග‍්‍රහ කර තිබේ. දේවතා එලි ලෙසද හඳුන්වන්නේ මේවා බව පෙනේ. දේවතා එළි යථාර්ථයෙන් නම් නිසල නොවුවද මෙවන් ඡායාරූපවල ඒව දිස්වන්නේ ගෝලාකාර ප‍්‍රභාමත් වස්තුන් විදියට බැව් පෙනේ. යථෝක්ත විග‍්‍රහයේ සැබෑ තත්ත්වය පෙන්නුම් කරන අසිරිමත්ම සිදුවීම දක්නට ලැබුණේ සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය අවසන් වී හරියටම සතියකට පසුවය. යම් හේතුවක් නිසා ධාතු ප‍්‍රදර්ශන පිංකමට සහභාගිවන්නට බැරිවූ වරුෂවිතාන මහතාගේ මිතුරෝ කිහිපදෙනෙක් ඊළඟ සති අන්තයේ හලාවතට පැමිණියහ. ඒ මිතුරන්ගෙන් එක් අයෙක් විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙකි. ඒ සමග නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ සිටින ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයකු සේ සේවය කරන ඔහුගේ පුත‍්‍රයා ද විය.
එදින සවස් යාමයේ එම පිරිස වනරතන ආරණ්‍යයට ද ගියහ. හිරු බැස යන සන්ධ්‍යා යාමයේ ඔවුන් විසින් තම තමන්ගේ කැමරා වලින් ආරණ්‍යයේ විවිධ ස්ථාන ඡායාරූප ගත කළහ. ධාතු ප‍්‍රදර්ශනය කළ දිනයේ දිස්වූ ආකාරයේම ඉතා දීප්තිමත් ආලෝක ධාරාවක් ධාතුන් වහන්සේලා වැඩ සිටින සීමා මාලකයට ඉහළ අහසේ ඡායාරූප ගත විය. එය හසුවූයේ ඇමෙරිකානු සරසවි කථිකාචාර්යවරයාගේ කැමරාවටය. එම කැමරාව නවීන අධි සංවේදී කැමරාවකි. එම කැමරාවට හසුවූ අතිශය දීප්තිමත් ආලෝක ධාරාව සීමා මාලකය අසල පිහිටි මාදං ගහට ඉහළින් ඇති ආකාරය මේ සමග ඇති ඡායාරූපයේ (රූපය 4) දැක්වේ.
විශ්මයජනක දෙය නම් එම ආලෝක ධාරාව ගමන් කරන අයුරුද පැහැදිලිව එම කැමරාවට හසුවීමය. රූපය 5 හි සටහන්ව ඇත්තේ රූපය 4 හි තිබූ ඒ දීප්තිමත් ආලෝකය එතැනින් ඉවත්වී වෙනත් ස්ථානයකට ගොස් ඇති ආකාරයයි. රූපය 5 හි ඉහළ දකුණු කෙළවර සටහන්ව ඇත්තේ එම දීප්තිමත් ආලෝක ධාරාවයි.
මේ දීප්තිමත් වස්තුව ස්වකීය පුත‍්‍රයාගේ අධි සංවේදී කැමරාවෙන් දකින තෙක් දේවතා එළි ආදිය පිළිබඳව මහාචාර්යවරයා තුළ කිසිදු පැහැදීමක් නොවීය. ඔහු ඒවා විස්තර කළේ ආලෝක පරාවර්තනයක් නිසා දිලිසෙන දුවිලි අංශු ලෙසය. මෙවර තමන් දුටු වස්තුව ආලෝක පරාවර්තන වස්තුවක් නොව ස්වයංදීප්ත එකක් බව අවට ආලෝකමත් කරන ස්වභාවය හා එහි චලනය අනුව සිතිය හැකි බැව් මහාචාර්යවරයාගේ මතයයි.
මේ අසිරිමත් ආලෝක ධාරාවන් ගැන තමන් ඇමෙරිකාවට ගිය පසු තවදුරටත් පර්යේෂණ පැවැත්වීමට අදහස් කරන බැව් ඇමෙරිකානු සරසවි කථිකාචාර්යවරයා පවසයි.
මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට කැමති දේශීය හෝ විදේශීය කෙනෙක් වෙතොත් ඔවුනට අවශ්‍ය පහසුකම් සලසා දිය හැකි බැව් කොක්කාවිල වනරතන ආරණ්‍යයේ වත්මන් භාරකාර පූජ්‍ය ඔක්කම්පිටියේ කස්සප හිමියෝ පවසති.
සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය සිදුකළ දා හා පශ්චාත් ධාතු ප‍්‍රදර්ශනය අසිරිමත් සිද්ධීන්ගෙන් අප නිතර අසා පුරුදු ඒ දේවතා එළි සංකල්පයට නව ආලෝකයක් ලැබුණු බැව් මාගේ විශ්වාසය වේ.

මහාචාර්ය - පියසිරි අමිලසිත් යාපා
2012 ඔක්තෝබර් මස 21 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 ප‍්‍රදර්ශනය සඳහා සූදානම් කිරීමට ධාතු කරඬුව විවෘත කොට මොහොතකට පසු.
 ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමට පැමිණි සැදැහැවතුන් කොටසක්.
 සවස් භාගයේ ධාතුන් වහන්සේලා වැඩ සිටින ශාලාව අසල මාදං ගසේ කැමරාවට හසුවූ අතිදීප්තිමත් ආලෝකය
දීප්තිමත් ආලෝකය ඉවත්ව යන ආකාරය


free counters