ශ්‍රී ලංකාවේ පළමු වන දේශපාලන හා ආගමික අගනුවර අනුරාධපුරය බව පොදු පිළිගැනිම වී ඇත. මල්වතු ඔය ඉවුරේ ක්‍රිස්තු පූර්ව 6 වැනිි සියවසේ පමණ ඇරඹුණු සේ සැලකෙන, වසර 1,500කට වැඩි කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වූ මේ නගරය විශිෂ්ට සභ්‍යත්වයක කෙන්ද්‍රස්ථානයයි. ලංකාවට බුදු දහම පැමිණ ව්‍යාප්ත වීම හේතුවෙන් මේ නගරය පුරා විශාල ආගමික සිද්ධස්ථාන බිහි විය. දෙස්විදෙස් පතල අධ්‍යාපන මධ්‍යස්ථාන බිහි විය. බෞද්ධ සංස්කෘතිය දස දෙස පතල විය. 12 වැනිි සියවසේ ආක්‍රමණ හේතුවෙන් අගනුවර පොළොන්නරුවට සංක්‍රමණය වුයෙන් මේ අලංකාර නගරය වල්බිහිවන්නට විය.
ඝන කැලෑවෙන් වැසී තිබුණු මේ පුරවරය බෙල්, සෙනරත් පරණවිතාන ආදී පුරාවිද්‍යා කොමසාරිස්වරුන්ගේ හා නිලධාරීන්ගේ කැපවීම නිසා කටුකොහොල් හෙලිකොට පැරණි ශ්‍රී විභූතිය හෙළිකරගන්නට හැකි වි තිබේ. සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන (මධ්‍යම සංස්කෘතික අරමුදල) අනුව ද අනුරාධපුරයේ ආගමික ස්මාරක සංරක්ෂණය කොට තිබේ. සාරධර්ම හුවමාරුව, සංස්කෘතික සම්ප්‍රදායන් හා විශ්වීය වැදගත් කමක් ඇති සිද්ධි වලට උරුමකම් කියන බැවින් 1982 සිට යුනෙස්කෝ සංවිධානය අනුරාධපුරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ.
අද අනුරාධපුරය භක්තිමත් බෞද්ධයන්ගේ පමණක් නොව පැරණි කලාශිල්ප, තාක්ෂණය, වාස්තු විද්‍යාව හා සංස්කෘතිය ආදී නොයෙකුත් ක්‍ෂේත්‍ර පිළබඳව උනන්දුවක් දක්වන බොහෝ සංචාරකයන්ගේ ද සිත්සතන් පුබුදුවාලන පෙදෙසක් වී ඇත.
අනුරාධපුරයේ පැරණි සිද්ධස්ථාන හා ඓතිහාසික ස්මාරක නැරඹීමේ දී ඒවා පිහිටි ප්‍රදේශ හා ඓතිහාසික තොරතුරු අනුව කලාප කිහිපයකට වෙන්කර ගැනීම පහසුය. ඒ
- මහා විහාරය
- අභයගිරිය
- ජේතවනාරාමය
- ථුපාරාමය
- ඇතුළු නුවර
- දක්ෂිණ විහාරය
- පශ්චිමාරාමය
- පාචීන තිස්ස පබ්බත විහාරය ආදී වශයෙනි.
මහින්දාගමනයෙන් පසු ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම ආරාමික ප්‍රදේශය මහමෙව්නා තිස්සාරාම මහා විහාර ප්‍රදේශයයි. මුටසිව රජතුමා විසින් සකස් කර තිබු මහාමේඝ නම් රාජකීය උද්‍යානය මහින්දාගමනයෙන් පසු දේවානම් පියතිස්ස මහා රජතුමා විසින් මිහිඳු හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට පුජා කරන ලදී. “මහමෙව්නා තිසරම් රද්මහ වෙහෙර “ යනුවෙන් සෙල්ලිපි වල සඳහන් වන්නේ දේවානම් පියතිස්ස මහා රජතුමා මිහිඳු හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිකළ විහාරයයි.
වර්තමානයේ අටමස්ථානය යනුවෙන් හැඳින්වෙන්නේ 1872 දී ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඔප්පුවක් මගින් ප්‍රදානය කල ශ්‍රී මහා බෝධිය, ලෝවාමහාපාය, ථුපාරාමය, මිරිසවැටිය, රුවන්වැලි සැය, අභයගිරිය, ලංකාරාමය හා ජේතවනය වන නමුත් මිහිඳු හිමියන් විසින් නම්කළ පුජනිය ආගමික ස්ථාන අටක් පිළිබඳව දීප වංශය, මහා වංශය, සිංහල බෝධිවංශය පුජාවලිය, සද්ධර්මාලංකාරය, සද්ධර්ම රත්නාකරය ආදී පැරණි පොත පත් වල සඳහන්වේ.
ඒවා නම්
තිස්සාරාමය
සංඝයා වහන්සේලාගේ විනය කාර්ම කරන කම්ම මාලකය
ජන්තාඝර පොකුණ
ශ්‍රී මහා බෝධිය පිහිටුවන ස්ථානය
පෝය ගෙය
ලහබත්ගෙය
දාන ශාලාව
රුවන්වැලි සැය ආදියයි.
මේ මහා විහාර පරිශ්‍රයේ මිහිඳු හිමියන් නම්කළ පුජනිය ස්ථාන හා තවත් සුවිශේෂී ස්ථාන කීපයක නටබුන් අද දැකිය හැකිය. ඒවා අතරින් ප්‍රමුඛස්ථානය හිමිවන්නේ ශ්‍රී මහා බෝධියට හා රුවන්වැලි මහා සෑයටයි.
ශ්‍රී මහා බෝධිය.
Sri Mahabodhiya
Sri Mahabodhiya
බුදුරජානන් වහන්සේට බුද්ධත්වයට පත්වීමට සෙවන දුන් දඹදිව බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව ක්‍රි.පූ. 246 දී පමණ දේවානම් පියතිස්ස රජතුමාගේ ඉල්ලීම පරිදි අශෝක රජතුමා විසින් මිහිඳු හිමිගේ සොහොයුරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමගින් වප් මස පුර පසළොස්වක පෝය දිනයකදී ලංකාවට වැඩම කරවන ලදී. ඉන්දියාවේ තාම්රලිප්තියෙන් ශ්‍රී මහා බෝධි අංකුරය සමග නැව් නැගී සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවේ දඹකොළ පටුනට ගොඩ බැස තිවක්ක බමුණුගම හරහා අනුරාධපුරයට වැඩම කොට ඇත. ඉන්පසු මහමෙව්නාවේ රාජද්වාරයේ මේ බෝධිය රෝපණය කර ඇත.
ශ්‍රී මහා බෝධිය අද අඩි 21 ක් ඉහලින් වන මට්ටම් තුනකින් වන වේදිකාවක වඩා හිඳුවා ඇති අතර වේදිකාවේ දිග අඩි 71 ක් හා පළල අඩි 57 ක් වේ. ශ්‍රී මහා බෝධිය අද දක්නට තිබෙන මට්ටමට වඩා පහත මට්ටමක රෝපණය කර තිබු බවත්, පසුව බැමි බැඳීම් ආදිය නිසා මේවන විට ඉහල වේදිකාවක මේ බෝධිය පිහිටා තිබෙන ආකාරයක් දැකිය හැකිය.
දේවානම් පියතිස්ස රජු ලංකා රාජ්‍යයෙන් හා විවිධ පුද පුජා කරමින් බෝධියට උපහාර දක්වන ලදී. ඉන් පසුවද රාජ්‍යත්වයට පත්වූ සියලුම රජ වරුන්ද සියලු පුජාවන් කිරීම, ගොඩනැගිලි හා ආරක්ෂාවට ප්‍රාකාර බැඳීම, ආදිය කරවන ලදී. මහානාග රජතුමා වන අලින්ගෙන් ආරක්ෂා කිරීමට දිය අගලක් ද කරවූ බව කියති.බෝධියට ජලය සම්පාදනය කරන ලද්දේ මිරිසවැටිය අසල වූ පොකුණු වලින් බව අනුමාන කෙරේ. දැනට ඇති ප්‍රාකාරය කරවා ඇත්තේ කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ ඉලුපැන්දෙනියේ අත්ථදස්සි හිමිපාණන් විසිනි. ස්මාරක වල තිබු ගල් කණු ආදිය මෙයට උපයෝගී කරගෙන ඇත. එය අඩි 10 ක් උසින් , උතුරේ සිට දකුණට අඩි 338 ක් දිගින්, නැගෙනහිර සිට බස්නාහිරට අඩි 274 ක් පළලින් හා අඩි 5 ක් ඝනකමින් යුක්තය. 1969 දී හා 2003 දී රන් වැට දෙකක් කරවා ඇත. ශ්‍රී මහා බෝධියේ ආවතේව කටයුතු බෝධිය ලංකාවට වැඩම කිරීමේදී පැමිණි බෝධි භාරක කුල පරම්පරාවලින් පවත එන අයගෙන් ඉටුවේ.
ශ්‍රී මහා බෝධිය සම්බන්දව චාරිත්‍රානුකුල වාර්ෂික උත්සව හතරක් පැවැත්වේ. ඒ දුරුතු මංගල්ලය, පරණ අවුරුදු මංගල්ලය, නානුමුර මංගල්ලය හා කාර්ති මංගල්ලය යනුවෙනි. ශ්‍රී මහා බෝධිය රජ කෙනෙකු සේ සලකන බැවින් සිංහල අවුරුද්දට පසුව නානු මුර මංගල්ලයට පෙර දා සන්ධ්‍යාවේ ශ්‍රී මහා බෝධි රාජයාට ආභරණ පැළඳවීමේ චාරිත්‍රයක්ද ඇත. මේ සඳහා සහභාගී වන්නේ මහා විහාර ස්වාමින් වහන්සේලා හා ආවතේව කටයුතු කරන වෙල්ලිදුර පරම්පරාවේ ප්‍රධානින් පමණි. අනුරාධපුරය වල් බිහිව තිබු කාලයේ බෝධීන් වහන්සේ වන සතුන්ගෙන් ආරක්ෂා කිරීමට බෝධීන් වහන්සේ වටා රාත්‍රියේදී ගිනි මැළ දල්වන ලදී. මේ සඳහා දර ගෙන එම මිනිසුන්ගේ පුරුද්දක් වූ අතර පසුව වර්ෂය සඳහාම අවශ්‍ය දර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේදී ගෙන ඒම චාරිත්‍රයක් බවට පත්විණ. මේ නිසා චාරිත්‍රානුකුලව පෙරහරින් දරමිටි රැගෙන ඒම දරමිටි පෙරහැර ලෙසත් නිකිණි පුර පසළොස්වක පොහොය දරමිටි පොහොය ලෙසත් භාවිතා වන්නට විය.
ශ්‍රී මහා බෝධියට පරිවාර බෝධීන් වහන්සේලා 41 ක් තිබෙනු දැකිය හැකිය. උඩ මළුවේ 3 ක් හා වැලි මළුවේ 38 ක් වශයෙනි.
බෝධි ප්‍රාකාරය
ශ්‍රී මහා බෝධිය පරිශ්‍රයේ මුරගලක්
ශ්‍රී මහා බෝධිය පරිශ්‍රයේ සඳකඩ පහන්
පිය ගැටපෙළ කැටයම්
හිඳි පිළිමය
ආවතේව කරුවෙක්
ශ්‍රී මහා බෝධිය පරිශ්‍රයේ වන ප්‍රතිමා ගෘහයේ බදාම පිරියම් කොට සායම් ආලේප කරන ලද බුදුන් වහන්සේගේ ශෛලමය හිටි පිළිමයක් හා හිඳි පිළිමයක් වේ. මේ පරිශ්‍රයේ 6 වන හා 8 වන සියවස් වල සඳකඩ පහන් කීපයක්, 8 වන සියවසේ මුරගල් සත් පෙන නාග රුපයක් කැටයම් සහිත පිය ගැටපෙළ ආදිය දක්නට ඇති අනෙකුත් නෂ්ටාවශේෂ අතර වේ.
බෝධි මළුවේ පිරිත් සජ්ජායනා කරන අවස්ථාවක්
ලෝවා මහා පාය
Lowamahapaya
මහා විහාරයේ පොහොය ගෙය ලෝවා මහා පායයි. දේවානම් පියතිස්ස රජතුමා ශ්‍රී මහා බෝධියට උතුරින් පොහොය ගෙයක් ඉදිකළ අතර දුටු ගැමුණු රජතුමා විසින් එය නව මහල් ප්‍රාසාදයක් බවට පත්කොට ලෝහ උළු සෙවිලි කරවන ලදී. සද්ධාතිස්ස රජුගේ කාලයේ (ක්‍රී.පූ .137-119) දී පහනක් පෙරලි ප්‍රාසාදය ගිනි ගෙන විනාශ වුයෙන් පසුව එය සත් මහල් කොට තනවනු ලැබිණ. දෙවන සිරිනාග කාලයේදීද (ක්‍රි.ව.246-247) එසේම ගිනිගනු ලැබීමෙන් පසුව එය පස් මහල් කොට සාදන ලදී. මහසෙන් රජු මහා විහාර වාසින් සමග උරණ වුයෙන් මේ ගොඩනැගිල්ලේ පදනම පවා මුලිනුපුටා දමා භුමිය නගුලින් සාවා උඳු වැපුරු බව කියති. පසුව මේ ප්‍රාසාදය කිත්සිරි මෙවන් රජු නැවත ගොඩනැංවිය. පාන්ඩ්ය සේනා හා 10 වන සියවසේ චෝළ ආක්‍රමණ නිසා ප්‍රාසාදය සම්පුර්ණයෙන් විනාශ වින. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමා නැවත මෙය නටබුන්ව පැවති ගොඩනැගිලි වල ගල් කණු 1600ක් සිටුවා ගොඩනැගිල්ල නැවත ඉදි කරන ලදී.
මේ ගොඩනැගිලි භුමියේ කරන ලද පුරාවිද්‍යාත්මක කැනීම් වලදී කිතුල් හෝ තල් දැව වලින් කරවා බදාම තවරා ගොඩනැගිල්ල ඉදි කර ඇති බවත් බදාම මත චිත්‍ර ඇඳ තිබු බවත්, ගොඩ නැගිල්ල ගිනිගත් බවට සාධකත් සොයාගෙන ඇත.
පැණඹ මලුව, රංසිමාලකය හා ලහබත් ගෙය
Ransimalakaya
ලෝවා මහා ප්‍රසාදයටත් රුවන්වැලි මහා සෑයත් අතර ඇති සමතලා භුමි භාගය පන්හම්බ මාලක හෙවත් පැණඹ මලුව ලෙස හැඳින්වේ. මහා විහාර භික්ෂුන් වහන්සේලාගේ රැස්වීම් ශාලාව රංසිමාලකය ලෙස හැඳින්වේ. අපවත්වූ මිහිඳු මහරහතන් වහන්සේගේ දේහය තැන්පත්කොට තිබුනේ මෙහි බව කියති.
භික්ෂුන් වහන්සේලාට දානය ලබාගැනීමට අවශ්‍ය සලාකය ලබා දුන්නේ ලෝවාමහා පාය ඉදිරිපිට ඇති ලහබත් ගෙය නම් ස්ථානයේදීය. පසු කාලීනව පිරිත් සජ්ජායනය කොට සලාකය ලබාගත් නිසා මෙය පිරිත් ලහගේ නමින්ද හැඳින්වූ බව කියති.
චතුස්සාලා ( දාන ශාලාව)
Maha Virara Refectory
Maha Virara Refectory
ලෝවා මහා පායට උතුරින් ඇත්තේ මහා විහාරයේ දාන ශාලාවයි. මෙය එක පැත්තක් අඩි 130 ක් පමණ දික්වූ සම චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලකි. මේ පරිශ්‍රයේ නැගෙන හිරින් අඩි 45 ක් පමණ දික්වූ ශෛලමය දන් ඔරුවක් ඇත. මෙය 3000 ක් පමණ භික්ෂුන් වහන්සේලාට දැන් සැපයීමට ප්‍රමාණවත් බව පෙනේ. මධ්‍යයේ ගල් අතුරු මිදුලකි. සිව් දෙසින් අංගනයට ඇතුළුවීම සඳහා වූ පිය ගැට පෙළ හතරකි.
නාන පොකුණු (ජන්තාඝර)
නාන පොකුණ
රුවන්වැලි මහා සෑයට දකුණින් පිහිටි පොකුණු දෙකකින් එකක් ප්‍රතිසංස්කරණය කර ඇත. මේ පොකුණු මහා විහාරිය භික්ෂුන් වහන්සේලා ස්නානය සඳහා භාවිතා කරන්නට ඇත.
රුවන්වැලි මහා සෑය
බුදු රජාණන්වහන්සේ පරිභෝග කරන ලද ස්ථානයක් වශයෙන් දක්වා ඇති පැරණි කකුධ නම් වැව කෙළවරක දේවානම් පියතිස්ස රජතුමා සිටුවා තිබු ශිලා ස්ථම්භයක එතුමාගේ මුණුපුරෙකු ස්ථුපයක් ඉදිකරන බව සටහන් කොට තිබු බව දුටු, දුටු ගැමුණු රජතුමා ක්‍රි.පූ. 137 දී එම ස්ථම්භය ඉවත්කර එය තිබු ස්ථානයේ රුවන්වැලි සෑය ඉදිකළ බව වංශ කතාවල සඳහන් වේ. මෙය ඉදිකළ ස්ථානයේ වූ ඉවත් කිරීමට සිදුවූ තෙලඹු ගසක ස්වර්ණමාලි නම් වෘක්ෂ දේවතාවියක් සිටි බැවින් අගේ නමින් ස්තුපය නම් කල බවක් ජනප්‍රවාදයේ පවතී. මෙය ඉදි කලේ රුවන් මලුව නම් ස්ථානයක බැවින් රුවන්වැලි සෑය නමින් හැඳින්වූ බවක්ද කියෙවේ.
Ruwanweli Seya
රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිලිබඳ කතා පුවත මහා වංශය, ථුප වංශය ආදී වංශ කතා පොත්වල ඉතා විස්තරාත්මකව හා වර්ණනාත්මකව සඳහන් කොට ඇත. මේ ථුපයේ විෂ්කම්භය අඩි 370 කි. ප්‍රතිසංස්කරණය කරන ලද ථුපයේ උස අඩි 338 කි. අත්තිවාරම රියන් 7 ක් ගැඹුරට කපා ගල් දමා ඇත. ස්තුපය නිර්මාණයට යොදා ගන්න ගාඩොල් සඳහා යොදාගත් මැටි වල් පැල හට නොගන්නාසේ ඉතා හොඳ තත්ත්ව පාලනයකින් නිමවා ඇත.
දුටු ගැමුණු රජතුමාගේ අභාවයට පෙර මෙම ථුපයේ වැඩ අවසන් කරන්නට නොහැකි වූ බැවින් සද්ධාතිස්ස රජතුමා විසින් මෙහි වැඩ නිම කරන ලදී. ඉන් පසුවද නොයෙකුත් රජවරුන් විසින් මෙහි සංවර්ධන කටයුතු හා ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇත
ඇත් පවුර
රුවන්වැලි සෑ මළුවේ ඇති පිළිම ගෙයෙහි මේ කල්පයේ බුදුවරුන් සිව්දෙනාගේ හා මතු බුදුවන මෛත්‍රී බෝසතුන්ගේ පිළිමය ඇති බැවින් පස් පිළිම ගෙය නමින් හැඳින්වේ.
පිළිමගෙයි බුදු පිළිමයක් හා බෝධිසත්ව පිළිමය
මළුවේ ගිනිකොන සුර්ය දේවාලයක් තිබුණු බවක් කියවේ. මළුවේ සිව් කොන කුඩා ස්ථුප 4 ක් හා තවත් කුඩා .ස්ථුපයක් වේ.
කැටයම්
වාහල්කඩ
ගල් ඔරුවක්
පිළිම ගෙය ළඟ නිශ්ශංක මල්ල රජුගේ සෙල් ලිපියක් හා සල පතල මළුවේ බිම කල්යානවති රැජින කාලයේ සෙල් ලිපියක් ඇත. නැගෙනහිර දොරටුව සමීපයේ දුටු ගැමුණු පිළිරුවක් හා දකුණු වාහල්කඩ ඉදිරිපස භාතිකාභය රජුගේ පිළිරුවක් ඇත.
.
රුවන්වැලි සෑ නැගෙනහිර වාහල් කඩෙහි 12 වන සියවසේදී පමණ අඳින ලද බවට සැලකෙන කොළ, දළු, හා මල්වලින් සැදි ලියවැල් රටාවක් හා ඒ තුල කිඳුරු රුවක් දැක්වෙන සිතුවම් කීපයක ශේෂයන් තිබී ඇත.

කප්රුක් පුජාවක්
සෑයේ උතුරු දොරටුව ආසන්නයේ අඩි 20 අඟල් 4 ක් උස සෙල් කුළුණක් දක්නට ඇත. මෙය ඉන්ද්‍රකීලය ලෙස සමහරු හඳුන්වති. මෙය දේවානම් පියතිස්ස රජතුමා සිටුවා තිබු ශිලා ස්ථම්භය ලෙසද සමහරු දකිති. මෙය යුප ගලක් වන්නටද බැරි නැත.
කුජ්ජතිස්ස පබ්බත විහාරයද? ශිලා චෙතියද? එළාර සොහොනද?
Sila Chethiya
රුවන් වැලි සෑයට ඊසාන දෙසින් වේදිකාවක් මත කුඩා ස්ථුපයක් ඇත. මෙය කුමක්ද කියා තවමත් ස්ථිර නිගමනයකට පැමිණ නැත.
රෝහල
රුවන් වැලි සෑයේ නැගෙනහිර දොරටුව ඉදිරිපස බෙහෙත් ඔරුවක් සහිත නටබුන් රෝහල් භූමියක නටබුන් බවට විශ්වාස කෙරේ.
රෝහල් භුමියේ බෙහෙත් ඔරුව
රුවන් වැලි සෑයට බටහිරින් අභය වැව පිහිටා ඇත. එහිද පැරණි නටබුන් දැකිය හැක. රුවන් වැලි සෑය හා අභය වැව අතර ප්‍රදේශයේ දිගු පොකුණක් පිරිවෙන් වලට අයත්යයි සිතියහැකි ගොඩනැගිලි රාශියක නටබුන් ඇත.
අභය වැව
පිරිවෙන් වලට අයත්යයි සිතියහැකි ගොඩනැගිලි
මයුර පිරිවෙන
ශ්‍රී මහා බෝධියට නිරිත දෙසින් මයුර පිරිවෙන නමින් වූ ගොඩනැගිල්ලක නටබුන් දැකිය හැකිය. ක්‍රි.ව. 340-368 අතර කාලයේ රජකළ බුද්ධදාස රජතුමා විසින් මහා විහාර භික්ෂුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉදිකළ පිරිවෙන මෙය විය හැක. මෙය දිගින් අඩි 66 ක් හා පළලින් අඩි 45 කි.